2022.05.24 වන අගහරුවාදා දින උදෑසන 11.32 පමණ ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ Uvalde නම් නගරයේ ඇති "Robb Elementary School" නම් ප්‍රාථමික පාසැල තුලට කඩා වැදුනු තුවක්කුකරුවෙක් සිදුකල වෙඩි තැබීමකින් මේවන තෙක් සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි දරුවන් 19 දෙනෙකුට ජීවිත අහිමි වී ගොස් තිබෙනවා.
මෙම ඝාතකයා 18 හැවරදි Salvador Ramos නමින් හදුනාගෙන ඇති අතර මෙම පාසැලට කඩා වැදීමට පෙර ඔහු ඔහුගේ මිත්තනියවද ඝාතනය කර තිබෙනවා. එම ඝාතනය සිදු කිරීමට පෙර ඔහු තම facebook ගිණුමේ සටහනක්ද තබා තිබෙනවා. නමුත් මෙම සටහන් ඔහුට පමණක් දැකිය හැකි ලෙසයි ඔහු තබා ඇත්තේ.
ඝාතක තරුණයා මෙම පාසැලේ සිව් වන වසරේ පන්ති කාමරයකට ඇතුල් වී එහි දොර වසා ඒ තුල සිට ගුරුවරියට හා දරුවන්ට වෙඩි තැබීමෙන් තම ඝාතනය අරඹා තිබෙනවා. එම අවස්ථාවේදී මෙම පන්ති කාමරය තුල දරුවන් 25-30ත් අතර ප්‍රමාණයක් සිට ඇති අතර ඒ අතරින් දරුවන් 19 දෙනෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. වෙඩි වැදීමෙන් තුවලා ලැබූ තවත් දරුවන් කිහිප දෙනෙකු අසාධ්‍ය තත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.
AR-15 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් ආධාරයෙන් ඝාතකයා වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීමෙන් පසුව පාසැල තුලට පැමිණි ආරක්ෂක නිලධාරීන්ගේ වෙඩි පහරින් ඔහු මියගොස් තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පාසැලේ සේවය කරමින් සිටි වසර ගණනාවක පලපුරුද්ද ඇති ගුරුවරියන් දෙදෙනෙකුද මියගොස් තිබෙනවා. දරුවන් ඇතුලු පුද්ගලයන් 17 දෙනෙකු තවමත් මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටිනවා.
මෙම පාසැල පිහිටා ඇත්තේ එක්සත් ජනපදය හා මෙක්සිකෝව අතර ඇති බෝඩරයට සැතපුම් 80ක් තරම් ඉතාමත් ආසන්නවයි. මෙම ඝාතනය සිදුකල සිසුවා එම ප්රදේෂයේම උසස් පාසැලක සිසුවෙක් ලෙසද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ නමුත් මෙම වසර තුල පමණක් ඇමරිකා එක්සත් ජනපදය තුල සිදුවූ 27වන පාසැල් වෙඩි තැබීම වන්නේ මෙයයි. මීට දින කිහිපයකට පෙර නිව් යෝර්ක් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින්ද පුද්ගලයන් 10 දෙනෙකු මියගියා.
මනුජිත් අබේරත්න