ලංකා ඉතිහාසයේ මහත් ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වුනු මිනීමැරුම් නඩු විභාග කිහිපයක් ගැනයි අපේ මේ ලිපිය. මිනීමැරුම තරම්ම ජනතාව අතර කතාබහක් ඇති කරන්නට සමත්වුන මේ නඩු විභාග අතරින් සමහරක තීන්දු පවා ඉතා මතභේදාත්මකයි.
1. සතාසිවම් ඝාතන නඩුව
ලංකාවේ මහත් ආන්දෝලනයක් ඇතිකල මිනීමැරුම් නඩු අතරින් අංක එකට සඳහන් කරන්නට පුළුවන් නඩුව තමයි සතාසිවම් නඩුව. නොයෙකුත් පෙරළිකාර සිදුවීම් රැසක් සමගින් දිගහැරුණු මේ නඩුව සඳහා විදෙස් නීති සහ වෛද්‍ය විශාරදයන්ගේ පවා උපදෙස් පැතීමට සිදුවුණා
සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මහාදේවන් සතාසිවම් මහතාගේ බිරිඳ වූ රෙජිනා සතාසිවම් මැතිණිය 1951 ඔක්තෝම්බර් 9 වැනිදා ඝාතනයට ලක්වනවා. ගෙල සිරකර මරා දමා තිබූ ඇගේ සිරුර නිවසේ මුළුතැන්ගෙයින් හමුවනවා. සතාසිවම් යුවල ඒ වනවිට ගතකල විවාහ ජීවිතය අඬදබර වලින් ගහණ එකක් වූ බැවින් වැඩි දෙනෙකුගේ සැකය කෙළින්ම යොමුවන්නේ සතාසිවම් මහතා වෙතයි. ඒ අනුව පොලිසිය විසින් සතාසිවම් මහතාව අත්අඩංගුවට ගන්නවා. මේ අතර නිවසේ සේවකයෙකු වූ විලියම් නැමැත්තාගේ හදිසි අතුරුදන්වීමද සැක මතුකරන්නට සමත් වෙනවා. මේ දරුණු අපරාධය සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් විලියම් සතුව ඇතැයි සිතන පොලීසිය විලියම් සොයමින් රටපුරා සෙවිල්ලක නිරත වෙනවා. අවසානයේදී ඔවුන්ට විලියම්ව ඈත ගම් දනවුවකින් හමුවෙනවා. විලියම්ව ප්‍රශ්න කිරීමේදී ඔහු කියන්නේ තමන්ගේ සහයත් ලබාගෙන සතාසිවම් මහතා රෙජිනා මැතිනියව ඝාතනය කළ බවයි. මීට අදාළ නඩු විභාගයේදී විලියම්ගෙන් විත්තිය විසින් අසන ලද හරස් ප්‍රශ්න බොහොමයකට විලියම් දුන් උත්තර සැකයන් මතු කරන්නට සමත් වනවා. මිනීමැරුම විලියම් විසින් තනියෙන්ම සිදු කරන ලද්දක්දැයි විමසිල්ලෙන් බලනවුන්ට සැක සිතෙන තරමට විලියම්ගේ ප්‍රකාශයන් පරස්පර විරෝධී වෙනවා. නමුත් ඒ වනවිටත් විලියම් කොන්දේසි සහිතව රජයේ සාක්ෂිකරුවකු බවට පත්කර තිබීම හේතුවෙන් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීම වැළකෙනවා. මරණය සිදුවූයේ යැයි අනුමාන කළ වේලාව වනවිට සතාසිවම් මහතා නිවසේ නොසිටි බැවින් ඔහුද මිනීමැරුම් චෝදනාවෙන් නිදහස් වනවා. අවසානයේදී සතාසිවම් නඩුව කෙළවර වෙන්නේ වරදකාරයෙකු නොමැතිවමයි.
බොහෝ දෙනෙක් මුල පටන්ම විශ්වාස කරන්නේ සතාසිවම් මහතා තම බිරිඳව ඝාතනය කළ බවයි. මේ නිසා කිසිවෙකු වරදකරුවෙක් නොකර අධිකරණය විසින් දුන් තීන්දුව ඔවුන්ව කෝපයට පත් කරන්නට සමත් වෙනවා. මිනී මැරුම වූ ස්ථානයේ රෙජිනා මැතිණිය අසළින්ම තිබුණේ වංගෙඩියක් බැවින්, ඔවුන් මේ මිනීමැරුම වංගෙඩි මිනීමැරුම නමින් එකල උපහාසාත්මකව හඳුන්වන්නට පටන් ගෙන තිබුණා.
2. එරික් බචෝ සිද්ධිය
මිනීමරුවෙකුට ජනතා අනුකම්පාව හිමිවන අවස්ථා ඉතාම විරළයි. 1950 ගණන් වලදී ලංකාව හොල්ලපු එරික් බචෝගේ සිද්ධිය ඒ විදිහේ විරළ අවස්ථාවක්. තමන්ගේ පෙම්වතිය වන 18 හැවිරිද මර්ලින් ලුඩ්වයික් හට නොනවත්වා පිහි ඇනුම් රැසක් එල්ල කරන එරික් බචෝ තරුණයා පිහියත් රැගෙන ගොස් පොලිසියට භාර වෙනවා. තමන් ප්‍රාණ සමානව පෙම් කළ පෙම්වතියගේ වෙනස ඔහුට උහුලා ගත නොහැකි තැන ඇය හමුවී කතාබස් කොට යළි එකතුවන්නට ඔහු ගිය බවත්, පෙම්වතියගේ අපහාසාත්මක වදන් නිසා කෝපය ඇවිස්සී ඇයව හදිසි කෝපය නිසා මරා දැමූ බවත් තමයි ඔහු කියන්නේ. බචෝ තරුණයා විසින් මර්ලින්ට ලියූ අවසන් ආදර හසුනත් එකළ ප්‍රසිද්ධියට පත්වනවා.
එරික් බචෝ නඩු විභාගයේදී බචෝගේ ඉරණම තීන්දු කරන්නට බලපාන තීරණාත්මක සාධකය වන්නේ ඔහු මේ මිනීමැරුම හදිසි කෝපය නිසා කල එකක්ද? එසේ නැත්නම් සැලසුම් සහගතව කරන ලද මිනීමැරුමක්ද යන්නයි. විවිධ සාක්ෂි සහ නීතීඥයින්ගේ තර්ක විතර්ක ඉදිරිපත් වෙද්දී එරික් බචෝගේ සැබෑ පරමාර්ථය කුමක් වූයේදැයි තීරණය කිරීම එන්න එන්නම අසීරු වෙනවා. කෙසේ වෙතත් අවසානයේදී ජූරියේ ඒකමතික තීරණය මත බචෝට එල්ලුම් ගහ හිමිවෙනවා.
කෙසේ වෙතත් එකල මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑ පෙම්වතා පිළිබඳව විශාල ජනතා අනුකම්පාවක් ඇතිවුණ වගයි දැනගන්නට ලැබෙන්නේ. අවසානයේදී එවක අගමැති බණ්ඩාරනායක අතින් එරික් බචෝගේ මරණ දඬුවම අහෝසි වනවා. එරික් බචෝ පසුකාලීනව සිපිරගෙයි සිට පොතක් ලියූ බවක්ද පැවසෙනවා.
3. පෝලින් ද කෘස් ඝාතන නඩුව
පෝලින් ද කෘස් මිනීමැරුම් නඩුව කියන්නේ මීට අවුරුදු පනහකට පමණ පෙර ලංකාවම හොල්ලන්න සමත් වුණ මිනීමැරුම් නඩු විභාගයක්. ගෝඨාභය කිරඹකන්ද නැමැති 11 හැවිරිදි දරුවෙක්ගේ මරණයට වගකිවයුත්තන් හොයන්න තමයි මේ නඩු විභාගය පවත්වන්නේ. මේ මිනීමැරුමට සම්බන්ධයෙන් ප්‍රධාන සැකය යොමුවෙන්නේ පෝලින් ද කෘස් නැමති 22 හැවිරිදි තරුණියකටයි. මේ තරුණිය ගෝඨාභය දරුවාගේ පියාගේ අනියම් පෙම්වතියද වනවා. පෝලින් සමගද හිතවත්ව සිටි මේ දරුවාගේ මළසිරුර 1966 පෙබරවාරි 8 වැනිදා ගල්කිස්ස ශාන්ත රීටා දේවස්ථානයේ ළිඳට වැටී තිබියදී හමුවෙනවා. දරුවාව අවසාන වතාවට ඇසින් දුටුව අය ඔහුව දකින්නේ පෝලින් ද කෘස් තරුණිය සමගයි. මේ නිසා මිනීමැරුම සම්බන්ධව ඇසින් දුටු සාක්ෂි නොමැති වුවත් පෝලින් ද කෘස් තරුණිය කෙරෙහි වැඩි සැකයක් යොමුවනවා. තරුණයන් ඇසුරු කරමින් පෝලින් ගතකල නිදහස්කාමී ජීවිතයත් නඩුවේදී ඇගේ අවාසියට හේතු වෙනවා.
ගෝඨාභය දරුවාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ පියා වන බෝධිපාල කිරඹකන්ද කෙරෙහිත් සැකයක් යොමුවුවත්, නඩුව අතරතුර ඒ චෝදනාවෙන් නිදහස ලබන්නට ඔහු සමත් වෙනවා. ඇසින් දුටු සාක්ෂි නොමැති වූවත්, ගෝඨාභය දරුවාව මැරීමට සාධාරණ හේතුවක් පෝලින් හට තිබෙන බවක් ඔප්පු කරගත නොහැකි වුවත් අවසානයේදී පෝලින් ද කෘස්ට මරණ දඬුවම නියම කරනු ලබනවා. ඒ තීන්දුව බොහෝ නීති විශාරදයින් අතර මතභේදයකට තුඩු දෙන එකක්ද වනවා. පසු කාලීනව මේ මරණ දඬුවම ජීවිතාන්ත සිර දඬුවමක් බවට පරිවර්තනය වී තිබෙනවා.
4. කැළැත්තෑවේ මිනීමැරුම් නඩු
කැළැත්තෑවේ සොයිසා කියන්නේ කාලයක් කැළැත්තෑව ප්‍රදේශයේ භිෂණය පතුරවාගෙන නීතිවිරෝධී වැඩ වල නිරත වුනු පුද්ගලයෙක්. වෘත්තියෙන් වෛද්‍යවරයෙක් වුනත් සොයිසා වැඩි ආශාවක් දක්වන්නේ මත්පැන් ජාවාරම ඇතුළු අනෙකුත් නීතිවිරෝධී ක්‍රම වලින් මුදල් හරි හම්බු කරන්නටයි. හොඳින් නැත්නම් නරකින් තමන්ගේ වැඩය කරගැනීමට සමතෙක් හැටියට නම් දරාපු සොයිසා සහ ඔහුගේ ගෝලබාලයින් අතින් ඝාතනය වූ මිනිස් ජීවිත ප්‍රමාණයද සුළු පටු නැහැ. සොයිසාට මිනිසෙක්ව මරන්නට මහා ලොකු හේතුවක් අවශ්‍ය නැති බවයි කියවෙන්නේ. තමන්ගේ පඩිය ඉල්ලා සේවකයෙක් තර්ක කිරීම වුවද ඔහුව ඝාතනය කරන්නට තරම් ප්‍රමාණවත් හේතුවක් හැටියට දැක්ක පුද්ගලයෙක් තමයි කැළැත්තෑවේ සොයිසා කියන්නේ.
නීතියද මුදලේ බලයට යටකරගනිමින් සදාකාලිකවම පාතාලයේ රජ කරන්නට සිතා සිටියත් සොයිසාටත් නරක කාලයක් උදාවෙන්න පටන් ගන්නවා.
1960 දශකයේ අග භාගයේදී සොයිසාගේ සේවකයින් දෙදෙනෙක් වූ පී. කේ. ඩී පෙරේරා සහ ජුලියස් සන්දරසාගරව සොයිසාගේ අණ පරිදි ඝාතනය කරනු ලබනවා. මේ අපරාධ ගැන රහස් පොලිසියට ඉව වැටී සොයිසාව අත්අඩංගුවට ගත්තත්, සොයිසා විසින් ඝාතනය කල අයගේ මළසිරුරු සම්භවෙන්නේ නැහැ. එසේ වුවත් වෙනත් සාක්ෂි සළකා බලමින් සොයිසාට එරෙහිව නඩු විභාගයක් පවත්වනවා. සොයිසාගේ බල පරාක්රමයට බියෙන් මුළු ගැන්නී සිටි බොහෝ පිරිසක් සොයිසාට එරෙහිව සාක්ෂි ඇතිව ඉදිරියට එන්නේ අවසානයේ ඔහුට එල්ලුම්ගස් උරුම කර දෙමින්. මළ සිරුරක් නොමැතිව ඝාතන නඩුවක් විභාග කර පුද්ගලයෙක්ට එල්ලුම් ගහ හිමිකර දුන් මෙරට පළමු අවස්ථාව හැටියට මෙය ඉතිහාසගත වනවා.
5. පද්මිණී කුලරත්න ඝාතන නඩුව
බටහිර රටවල් වලනම් වස දී මරාදැමීමේ අපරාධ බහුලව වාර්තා වුනත්, 1960 ගණන් වන තුරුම ශ්‍රී ලාංකික අපරාධ ඉතිහාසය තුළ එවන් අපරාධ වාර්තා වුනේ නැති තරම්. එවන් වකවානුවක සිදුවූ පද්මිණී කුලරත්න ඝාතනය සුවිශේෂී වන්නේ එය ලංකා නීති ඉතිහාසය තුළ වාර්තා වුනු පළමු ආසනික් වස දී මරා දැමීමේ නඩුව වීම හේතුවෙනුයි.
ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වූ ඩේමන් කුලරත්න සහ පද්මිණී කුලරත්න අතර විවාහ දිවිය අඬදබර වලින් පිරුණු එකක්. දරුවන් තිදෙනෙකුගේ දෙමවුපියන් වූ ඔවුන් දෙදෙනා එකම නිවස තුළ එකිනෙකාගෙන් දුරස්තරව ජීවත් වූ දෙදෙනෙක්. ඔවුන් සමග වාසය කල ඩේමන් කුලරත්නගේ මවත් පද්මිණී සමග විරසකව තමයි ජීවත් වුනේ. කුලරත්න මහතා සහ ඔහුගේ මව නිතරම පද්මිණීට අඩන්තේට්ටම් කල බවටත්, වරක් ඇයව පිස්සන් කොටුවකට පිටමන් කරන්නට පවා උත්සාහ දැරූ බවටත් වාර්තා වෙනව. පද්මිණී කුලරත්න මැතිණිය තමන්ගේම නිවසේ උඩුමහලේ සිරකාරියක් සේ තමයි ජීවත් වෙලා තිබෙන්නේ. ඇයට අවශ්‍ය ආහාරපාන පවා ලණුවක රඳවන ලද කූඩයක ආධාරයෙන් තමයි ඉහල මහලට යවා තිබෙන්නේ. මේ ආකාරයෙන් දුක්ඛිත ජීවිතයක් ගතකරන කුලරත්න මැතිණිය දිනක් දිවා ආහාරයෙන් පසු තදබල අපහසුතාවයකට පත්වෙනවා. රෝහලකට ගෙනයන්න ප්‍රථමයෙන්ම ඇය ජීවිතය හැර යනවා.
පද්මිණීගේ මිනීමැරුම සම්බන්ධ නඩු විභාගයේදී දොස්තර කුලරත්නත්, ඔහුගේ මවත්, සොපියා නම් මෙහෙකාරියකටත් තමයි මේ වස දී මරාදැමීම සිදු කිරීමේ චෝදනා එල්ල වන්නේ. කුලරත්න යුවලගේ දියණියක් වූ අචිනිගේ සාක්ෂි වලින්ද වෙනත් සාක්ෂි ආධාරයෙන්ද මේ තිදෙනාට මරණ දඬුවම නියම වෙනවා. කෙසේ වෙතත් ඔවුන් නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මේ නඩුව නැවත විභාගයට ගන්නවා. එහිදී පළමු නඩුව විභාග කිරීමේදී දැක්වූ යම් යම් නොසැළකිලිමත් ක්‍රමවේදයන් නිසාවෙන් එල්ලුම් ගසින් ගැලවී නිදහස් වීමට ඔවුන් තිදෙනාට හැකි වෙනවා. පද්මිණී කුලරත්නව වස දී මරා දැම්මාද? නැතිනම් ඇය සියදිවි නසාගත්තාද යන්න සදාකාලික රහසක්ව වැළලෙනවා.
උපුටාගැනීම : lifie.lk