ඔන්න ඉතින් අද ආවෙ Marvel Cinematic Universe එකට අලුතින්ම ආපු ලොකු අයියලා එහෙමත් නැත්නම් Eternals ලා ගැන කතාකරන්නයි. දැන් IMAX කොපි එකත් එලියට දාපු නිසා මම හිතනවා මේ වෙද්දි කට්ටියම මේක බලලා ඇති කියලා. ඉතින් මේක ෆිල්ම් එක ගැන මගෙ අදහස් මොනවගේද කියලා කියන සටහනක් නිසා spoilers එහෙම තියෙන්න පුලුවන්. ඒ නිසා මේ වෙද්දිත් Eternals බලලා නැති කෙනෙක් නම් ඒක බලලා ඇවිත් ම මේක කියවන්න. නැත්නම් Surprise වෙන්න තියෙන අවස්ථා දෙක තුනක් නැති වෙන්න පුලුවන් 😌😌
මුලින්ම Spoilers නැතුව මේ ෆිල්ම් එක ගැන කෙටි සටහනක් කලොත් මේක අධ්‍යක්ෂණය කරන්න බාරගත්තේ එසේමෙසේ කෙනෙක් නම් නෙමෙයි. ඒ කෙනා තමයි පහුගිය අවුරුද්දෙ Best Director, Best Picture සම්මාන දෙකම දිනාගන්න සමත් උන Nomadland ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Chloé Zhao. ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත් අවුරුදු දහස් ගාණකට කලින් පෘථිවියෙ ජීවත් උන ආක්රමණික ජීවින් විශේෂයක් උන Deviants ලා විනාශ කරලා උන්ගෙන් පෘථිවියෙ මිනිසුන් බේරගන්න එන එකිනෙකාට ආවේණික උන සුපිරි බල තියෙන සෙට් එකක් තමයි Eternals ලා කියන්නෙ. කවදාවත් වයසට වත් යන්නෙ නැති අමරණීය ජීවීන් වෙන මෙයාලා අවුරුදු හත්දහස් ගාණකට කලින් ඇවිත් Deviants ලව විනාශකර දැමීම වගේම මෙයාලා පෘථිවියෙ මිනිස්සු එක්ක ඒ කාලේ ඉදන් වර්තමානය වෙනකන්ම එකට ජීවත් උන විදිය, වර්තමානයේ ආයෙම එන Deviant තර්ජනයකට එරෙහිව ආයෙම එකතුවෙලා සටන් කිරීම ගැන තමයි කතාව ගලාගෙන යන්නෙ..
ඉතින් මේ ෆිල්ම් එක MCU එකෙන් එලියට දාපු පොඩ්ඩක් පෙරලිකාර සිනමාපටයක් කියලා කියන්න පුලුවන්. මොකද මේකෙන් MCU එක දිහා අපි කලින් බලපු කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මම ඒ ගැන ඉස්සරහට කියන්නම්. කොහොමහරි මේකේ MCU එකේ දකින්න ලැබෙන පලවෙනි Gay චරිතය දකින්න ලැබෙනවා කියලා ආරංචි උනා. ඒවගේම Kevin Feige කිව්වා එයා Chloé ගේ Directing ගැන ගොඩක් පුදුම වෙනවා. ඒක විස්මිතයි කියලා. ඒවගේම එයා Chloé ට එයාගෙම style එකෙන් ෆිල්ම් එක හදන්න පූර්ණ නිදහස දෙන කතාවකුත් ආරංචි උනා. ඉතින් ෆිල්ම් එක බැලුවම කියන්න තියෙන්නෙ ඒ ඔක්කොම ඇත්ත කියලා තමයි..❤️❤️
Eternals කියන්නෙ මේ වෙනකන් ආපු MCU ෆිල්ම් වල Vibe එකට වඩා වෙනස්ම විදියෙ ෆිල්ම් එකක් කියන්න පුලුවන්. ගොඩක් තැන් වලදි Chloé Zhao තමන්ගෙ uniqueness එක ෆිල්ම් එකට එකතුකරලා තිබුනා. හැබැයි මේකට MCU රසිකයො නම් ඒතරම්ම කැමති වෙලා නෑ වගේ. ටිකක් අඩු IMDB rating එකක් (6.7/10) වගේම MCU film එකකට වෙන්නෙම නැති විදියට අඩු Rotten Tomatoes ratings (47% ක්) එකකුත් මේකට ලැබුනා. කොහොම උනත් මගෙ නම් මතය මේකට මීට වඩා ratings වැඩි වෙන්න ඕන. හොඳ වගේම අවුල් තැනුත් යම් මට්ටමකට තිබුනත් මේකට අඩුගානෙ IMDB ratings 7/10 ක් වත් දෙන්න ඕන. ඉතින් එහෙනම් මේ ෆිල්ම් එක බලලා මට දැනුන දේ ගැන කතාකරන්නයි දැන් යන්නෙ. මම මුලින්ම මේකේ plus points ගැන කතාකරලා ඊටපස්සෙ තිබුන අවුල් ටික ගැන කතාකරන්නම්. ෆිල්ම් එක මේ වෙනකන් බලපු නැති අය මෙතනින් එහාට කියවන්න එපා. බලලා ඇවිත් කියවන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් මුලින්ම බලමු Eternals එකේ හොඳ දේවල් මොනවද කියලා 😌😁
🚫🚫🚫🚫 Spoiler Alert 🚫🚫🚫🚫🚫🚫
ඉතින් මේ ෆිල්ම් එක ගැන මම කලින් කිව්වනෙ මේකෙන් MCU එක ගැන අපි දැක්ක කෝණයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කෝණයකින් පෙන්වීමට උත්සාහ කරපු ෆිල්ම් එකක් කියලා. අන්න ඒ දේ මේකෙන් ගොඩක් හොඳට පෙන්නලා දීලා තිබුනා. සාමාන්‍යයෙන් Marvel වල Power Hierarchy එකේ උඩම ඉන්න ජීවීන් විශේෂයක් වෙන Celestial ලා සහ ඔවුන් යටතේ ඉන්න තවත් බලවත් ජීවීන් කොට්ඨාශයක් වෙන Eternals ලා ගැන පෙන්වද්දි ඔවුන්ටම ආවේණික විදියට හැමදේම සකස්කරලා තිබුනා. ඇඳුම් පැලඳුම්, යානා, බලයන් භාවිතා කරන ආකාරය, තාක්ෂණික භාවිතයේ ඉදන්ම අපිට මෙයාලගෙ වෙනස්කම බොහොම හොඳට පෙන්වන්න Chloé Zhao සමත්වෙලා තිබුනා.
ඒවගේම පහුගිය කාලේ Chloé තවත් වර්තමානයේ ඉන්න දක්ශම අධ්යක්ෂවරයෙක් වෙන Denis Villeneuve ගෙන් පවා යම් යම් අදහස් ලබාගත්තා කියලා ආරංචි උනා නෙ. ඒ කියපු විදියට ම Denis ගේ Unique සිනමාකරණය පාදක කරගෙන Chloé Zhao එයාගෙම වෙනස්ම විදියෙ Visuals මේකට එකතුකරලා තිබුනා. ඇත්තටම බලන් ඉන්න මාරම ලස්සන දර්ශන ගොඩක් Eternals ඇතුලෙ තිබුනා. ඒවා ඉතින් ෆිල්ම් එක බලන අතරෙ Pause කරලා ටික වෙලාවක් බලන් ඉන්න පුලුවන් තරම් ලස්සනයි ❤️❤️ ඉතින් ඒක නිසා මේක Marvel එකෙන් සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නෙ නැති Visual Masterpiece එකක් කියලත් කියන්න බැරි කමක් නෑ. මම මේ වගේ ලස්සනට Cinematography කරලා තියෙනවා අවසාන වතාවට දැක්කෙ Thor Ragnarok එකෙන් තමයි 😁❤️ Kevin Feige තමන්ට දුන්න නිදහස Chloé උපරිමයෙන්ම පාවිච්චි කරලා කියලා පේනවා අපිට ෆිල්ම් එක බැලුවම..
ඊලඟට මේකේ තවත් Plus point එකක් තමයි CGI භාවිතා කරපු ආකාරය සහ සටන් දර්ශන පෙන්වපු ආකාරය..🔥🔥 සාමාන්‍යයෙන් MCU එක ඇතුලෙ නිතරම දකින්න නොලැබෙන විදියෙ Epic fight scenes ගොඩක් මේකෙ තිබුනා. ඒ ගොඩක් තැන් දෙතුන් පාර rewind කරකර බලන්න පුලුවන් තරම්ම පට්ට ❤️🔥 විශේෂයෙන්ම Ikaris, Makkari චරිත දෙකේ Fight sequences කැපිලා පෙනුනා. 🔥🔥 අනිත් දේ ත්‍රිමාණ සජීවීකරණයන් භාවිතයෙන් විවිධ වර්ණ, හැඩතල එකට එකතුකරලා කරපු අපූරු ව්‍යුහයන් ගොඩක් මේකේ දකින්න ලැබෙනවා. මතකනෙ Arishem the Judge, Sersi ට එයාලගෙ ඇත්තම මෙහෙයුම මොකක්ද කියලා කියන අවස්ථාවෙදි පෙන්වන දර්ශන ටික.. ඒ සීන් ටික නම් පට්ටම ලස්සනයි 👌👌
ඊලඟට විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මේකෙන් අපිට ඒ වෙනකන් උඩම ඉදපු සුපිරි වීරයො උන Avengers ලට වඩා එහා ගියපු Avengers ලා පොඩි උන් ගාණට දාපු Eternals ලා ගැන Massive scale එකකින් පෙන්නපු විදිය. ( හැබැයි මේකෙදි Comic වල තිබුන Etarnal origin story එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා ) මේක නිකන් උදාහරණයකින් කිව්වොත් අපි කූඹි ගුලක් ගැන හිතමු. අපි මේ කූඹි ගුලේ ඉන්න කූඹියෙක් ගත්තොත් උන්ට පේන්නෙ උන්ගේ ලෝකේ මේ කූඹි ගුල සහ ඒ අවට යම් වපසරියක විතරක් පැතිරිලා තියෙනවා කියලා නෙ. හැබැයි ඒක එහෙම නෙමෙයි. මිනිස්සු විදියට කූඹි ගුලක් දිහා පිටින් බලද්දි අපිට ඒක පේන විදිය සම්පූර්ණයෙන්ම වෙනස්. කූඹි ගුලක් ඇතුලෙ ඉන්න කූඹියොන්ට තමන්ගෙ ගුල කොච්චර වටිනවා උනත් පිටින් බලන අපිට් ඒකේ ලොකු වැදගත්කමක් නෑ. මොකද අපි දන්නවා අපිට කූඹි ගුල කරදරයක් නම් ඒක පාගලා විනාස කරලා දාන්න පුලුවන් බව. අන්න ඒ වගෙ තමයි මේ Eternals ලා සේවය කරන Celestial ලත්. එයාලට මේ ජීවය තියෙන සෑම ග්‍රහලෝකයක්ම හරියට කූඹි ගුල් වගෙ. එයාලට කැමති වෙලාවක ඒක ගොඩනගන්න ඉඩදෙන්න වගේම විනාශ කරන්නත් බලය සහ හැකියාව තියෙන බව එයාලා දන්නවා. අන්න ඒ Feeling එක යම්තාක් දුරකට සාර්ථකව ප්‍රේක්ශකයන්ට ලබාදෙන්න Eternals සමත් උනා කියලා කියන්න ඕන. මෙච්චර කල් Thanos එක්ක, Infinity stones එක්ක ඔට්ටු උනාට ඊට වඩා සෑහෙන ලොකු ඩයල් ඉන්නවා සහ එයාලට තමන්ගෙ අරමුණ වෙනුවෙන් ග්‍රහලෝකයක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීම කියන්නෙ බොහොම සුලු දෙයක් කියලා Eternals බලලා ඉවර වෙද්දි හොඳින්ම තේරෙන්න ඇති..😁😁
ඉතින් ඊලඟට මේකේ අවසානයෙදි තිබුන පුදුමාකාර Post credit සීන් දෙකත් එක්ක තව වැදගත් චරිත තුනක් MCU එකට ආවා. ඒ තමයි Thanos ගේ සහෝදරයා විදියට හඳුන්වපු Eros, Dane Whiteman ගේ Black Knight වගේම Voice credit එකෙන් හඳුන්වලා දීපු අලුත්ම mcu character එක Blade 🔥🔥🔥 ඒ post credit සීන් දෙකනම් සිරාවටම පට්ට. ඊලඟට අවසාන වශයෙන් කියන්න ඕන Credit දර්ශන වලදි පෙන්නපු Eternals ලා අපේ සංස්කෘතීන් වලට අභාශය දුන්න හැටි, පුරාණ සිතුවම්වල, මූර්ති, කැටයම් වල පවා Eternals ලා ගැන යම් යම් ඉඟි තියෙන බව පෙන්වපු විදිය මරු 👌👌 හරියට අපි නොදැන උනත් වසර දහස් ගාණක් පුරා Eternals ලා පෘථිවියෙ විවිධ ශිෂ්ඨාචාරයන් වලට, සංස්කෘතීන් වලට මොනවගේ බලපෑමක් කරන්න ඇතිද කියලා ඒකෙන් හොඳ අදහසක් ගන්න පුලුවන්. ඒවගේම Eternals සෙට් එක විවිධ ජනවර්ග වලින්ම නිර්මාණය කරලා තිබුනෙත් ඒ දේ පෙන්වන්නම වෙන්න ඇති කියලා හිතෙනවා. ඒකත් යම්තාක් දුරකට සාර්ථකයි කියලා කියන්න පුලුවන්. ඉතින් ඔන්න ඔය දේවල් තමයි Eternals එකේ Plus points විදියට මම දැක්කෙ..😁😁
ඊලඟට මේකේ අවුල් ගැන කිව්වොත් මම උඩදි කිව්වා වගේ වෙනස්ම කෝණයකින් පෙන්වන Massive scale එකේ කතාවක්, ඒ චරිත එක්ක ගණුදෙනු කරද්දි සෑහෙන ඒකෙන් ඊට කලින් අපි දැකපු චරිතවලට වෙන බලපෑම ගැන සෑහෙන පරිස්සම් වෙන්න ඕන.. හැබැයි මේකෙ සමහර තැන් වලදි ඒක සම්පූර්ණයෙන්ම අමතක කරලා වගේ තේරුනා. නිකන් Avengers ලා පොඩි උන් ගාණට දාලා පෙන්නන්න මුල ඉදන් උත්සාහ කලාට Eternals ලා කියන්නෙත් හරිහමක් විදියට වැඩක් කරගන්න බැරි සෙට් එකක් කියලා පේන තැන් තිබුනා. මේ සමහර අයට දීලා තියෙන බලයන්ගෙන් එයාලා යම්කිසි විදියකින් තනියම සටන් කරන්න සිද්ධ උන අවස්ථාවකදි Survive වෙන්න කිසිම හැකියාවක් නැතුව මැරිලා යන්න වෙනවනම් වැඩක් නෑනෙ. Ajak, කණ්ඩායමේ ඉන්න නායිකාව උන Ajak එහෙම නිකන්ම මැරිලා ගිය හැටි දැක්කනෙ. අනිත් දේ තමයි කතාව අතරින් පතර එකපාරටම පෙන්නන අතීත සිදුවීම් කතාව ඉදිරියට ගොඩනගාගෙන යන්න ලොකු බලපෑමක් නැති තේරුමක් නැති ඒවා වීම. ඒවා නිකන් ඉස්සර මුන් මෙහෙමයි ඉදලා තියෙන්නෙ කියලා පෙන්නන්න දාපුවා වගේ. කතාව මුලදි හොඳට පටන්ගත්තත් මැදක් වෙද්දි ගොඩක් දෙනෙක්ට Boring ගතියක් දැනෙන්නෙ මේ විදියට එකතුකරපු ටිකක් දිග Flashback සීන් නිසා වෙන්නත් ඇති.
අනික Eternals ලා සෙට් එක ගත්තත් එයාලා අතරෙ තියෙන relationship එක, බැඳීම කියන දේ පෙන්නලා තිබුනෙ හරිම අඩුවෙන්. ඒ ගොඩක් අය හිටියෙ Arishem එයාලව එකට එවපු නිසා එකට හිටියා වගේ. Salma Hayek ගේ චරිතෙන් වගේම Sersi ගේ චරිතෙන් උනත් කණ්ඩායම එකට එකතුකරන්න පුලුවන් විදියෙ ශක්තිමත් නායකත්වයක් දකින්න ලැබුනෙ නෑ. Salma Hayek නම් නිකන් ආවට හිටියා වගේ තමයි Ajak චරිතෙ කරලා තිබුනෙ. යම් විදියකින් හරි කණ්ඩායම් හැඟීමක් හෝ එයාලා මේ දේ කරන්නෙ යම් අරමුණක් ඇතුව කියලා පෙන්නන්න සමත් උන Characters උනේ Druig, Makkari සහ Ikaris විතරයි. අනිත් ඔක්කොම නිකන් ඔහේ වැනෙන චරිත වගේ. Kingo සහ එයාගෙ පස්සෙන් හෙවණැල්ලක් වගේ එන ඉන්දියන්කාරයගෙ චරිත තනිකරම පාවිච්චි කරලා තිබුනෙ විහිලු සපයන්නම විතරයි 😅😅😅.. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕන Makkari චරිතය රඟදක්වපු Lauren Ridloff ගොලු චරිතයක් උනත් ඒක අපූරුවට නිරූපණය කරලා තිබුනා. මට කලින් කියන්න බැරි උනත් Makkari ගෙ Speedster action ටික කාලෙකින් දැකපු සුපිරිම action ටිකක්. අපිට සුපුරුදු Slow motion සීන් වෙනුවට Speedster කෙනෙක් දිහා අපි බලද්දි පේන්නෙ මොනවගේද කියලා ලස්සනට බලාගන්න ලැබුනා Makkari ගෙන්. ඒවගේම Makkari තමන්ගෙ team එකේ අය ගැන මොනතරම් සැලකිලිමත් වෙනවද කියලත් දකින්න ලැබුනා. කණගාටුයි Druig ඇරෙන්න අනිත් චරිත වලින් නම් එහෙම දෙයක් දකින්න ලැබුනෙ නෑ. අනිත් දේ මේ Eternals ලගෙ team එකේ එකට අවුරුදු දාස් ගාණක් වැඩකරපු Phastos ට Ikaris ට ගහන්න කාලයක් බලන් හිටියා කියන තරමට තිබුන තරහා මොකක්ද කියන එක හරි ප්‍රශ්නයක්. ඒක නිකන් සුදු ජාතිකයන්ට එරෙහිව කලු ජාතිකයන්ට තිබුන ඇරියස් කවර් කිරිල්ලක් වගේ 😅😅
ඊලඟට කතාවෙ plot twist එක පටන්ගනිපු තැන ගත්තොත් Celestial ලා Eternals ලව පෘථිවියට එවලා තියෙන්නෙ Deviants ලගෙන් මිනිස්සු බේරගන්නම නෙමෙයි ඊට එහා ගියපු අරමුණක් උන අලුත් Celestial කෙනෙක්ව පෘථිවියෙන් බිහිකරගන්න උදවුවක් විදියට කියලා කියපු එකෙත් පොඩි පොඩි අවුල් තියෙනවා. මොකද මෙච්චර කාලයක් පෘථිවියෙ හරය ඇතුලෙ Celestial කෙනෙක් පෝශණය වෙලා ටිකෙන් ටික වර්ධනය වෙනවා කියලා Dr Strange, Mid guard වල ආරක්ශකයා විදියට ඉන්න Thor වගේ අය නොදැන හිටියෙ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවා. අවුරුදු දස දහස් ගාණක් ජීවත් උන Odin මේවා ගැන මොනවත් නොදැන හිටියා වගේ පෙන්නුවෙ ඇයි කියලා ප්‍රශ්නයක් එනවා. සමහරවිට ඉදිරි ෆිල්ම් වලින් ඒවට හේතු දෙන්නත් පුලුවන්. හැබැයි මේ Plot twist එකනම් Thanos was right කියලා පෙන්නන්න උවමනාවෙන්ම දාපු එකක් කියලා තමයි මට හිතුනෙ. ඒ විදියට බැලුවත් Celestial ලා බිහිවෙන්න ඉන්න planet වලට විතරක් නැතුව මුලු විශ්වයෙන්ම බාගයක් Vanish කරලා දාන එක මේ Celestial උපත් වලින් සිදුවෙන ජන සංහාර නවත්තන්න ප්‍රායෝගික විසඳුමක්ද කියලා හිතෙනවා..🤔🤔 එහෙම බැලුවොත් Celestial ලා නැති ග්‍රහලෝක වල ජීවීන් තේරුමක් නැතුව නිකන්ම ජීවිතේ පූජාකරනව වගෙ දෙයක් වෙන්නෙ. අනික ජනග්‍රහණ වර්ධනය එක්ක Celestial උපත් යම් ප්‍රමාදවීමක් උනත් ආයෙම යම් කාලයකින් නැවතත් සිදුවෙන්න පුලුවන්. එතකොට Thanos දිගින් දිගටම Snap කරකර ඉන්න හිතුවද කියලත් ප්‍රශ්නයක් තියෙනවා..😅😅
ඊලඟට Arishem ඇතුලු Celestial ලා බොහොම ලොකු සැලැස්මක් ඇතුව මේ Celestial seed තෝරාගත් ග්‍රහලෝකවල තැන්පත් කරලා ඒවට Deviants ලා එවලා විලෝපිකයින්ව මරලා මිනිස්සුන්ව ආරම්භයෙදි ආරක්ශා කරලා පස්සෙ Deviants ලව මරන්න Eternals ලව එවන්න තරම්ම අවධානයක් දුන්නත් Ego වගේ අනිත් Celestial ලා ඇවිත් ඒ ග්‍රහලෝක තමන්ගෙ පැවැත්ම, බලය වර්ධනය කරගන්න පාවිච්චි කරපු එක ගැන මෙයාලට මුකුත්ම නොදැනුනෙ කොහොමද.. ඒකත් ප්‍රශ්නයක්.. ඔය වගේ ප්‍රශ්න ටිකක් නිරාකරණය කරන්න දාපු theory එකෙන් තව ප්‍රශ්න ටිකක් හැදුනා වගේ දෙයක් තමයි අන්තිමට උනේ. 😌😌 ඊටපස්සෙ මේකේ ගොඩ දෙනෙක් අකමැති උනා කියපු Gay relationship එක ගැන කිව්වොත් ඒකෙත් ඔය කට්ටිය කලබල උන තරම් දෙයක් තිබුනෙ නෑ. ඇත්තටම ඇයි එහෙම සීන් එකක් මේකට දැම්මෙ කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.. ඒක නිකන් ලෝකේ මෙන්න මෙහෙම Relationship එහෙමත් තියෙනවා. ඔයාලා හොඳට බලාගන්න වගේ පෙන්නපු Ad එකක් වගේ 😅😅😅
ඊටපස්සෙ කතාව අවසානයට ගත්තොත් Celestial කෙනෙක් බිහිවෙන අවස්ථාවෙදිම තමන්ගෙම බලයන් භාවිතා කරලා ඒ Celestial ව සම්පූර්ණයෙන්ම අයිස් කරන්න Sersi ට පුලුවන් වෙනවා. හැබැයි ඒ වෙනකොටත් මහා කඳු ටිකක් වගේ Celestial ගේ කොටස් කිපයක්ම එලියට ඇවිත් ඉවරයි. ඊටකලින් Eternals ලට පවා අමුත්තක් දැනුන විදියෙ භූමිකම්පා කීපයක්ම උනත් ඊටපස්සෙ මහා දැවැන්ත Celestial කෙනෙක් පොලවෙන් මතු උනත් ඒක ගැන අන්තිම වෙනකන්ම පෘථිවියෙ ඉන්න වෙන කිසිම hero කෙනෙක්ට, විද්‍යාඥයින්ට නොතේරුනේ, කිසිම reaction එකක් නොකලේ කොහොමද කියලා කිසිම විදියකින් පෙන්නුවෙ නෑ. සමහරවිට වෙනම illusion එකකින් මිනිස්සුන්ට ඒ ගැන අවසානය වෙනකන් නොදැනෙන විදියට ඒක කලා වෙන්නත් පුලුවන්. නමුත් ඒ ගැන කිසිම දෙයක් පෙන්නන්නෙ නැතුව නිකන් තමන්ගෙ ඇඳ යටින් යෝදයෙක් මතුවෙනකන් Avengers ලා සෙට් එක බුදි වගේ තමයි පෙන්නුවෙ 😅😅 ඊටපස්සෙ තවත් ප්‍රශ්නයක් තමයි අපිට කතාවෙදි කියනවා මේ අපි දැකපු Eternal සෙට් එකේ පලවෙනි mission එක මේක නෙමෙයි කියලා. ඒ කියන්නෙ ග්‍රහලෝක ගාණකට මේ සන්තෑසියම කරන්න මුන් කලින් උදවුකරලා තියෙනවා. හැබැයි මුන් සහ මේ වගේම තව Eternals සෙට් ගාණක් ග්‍රහලෝක දහස් ගාණකට යවලා තියෙන එකේ උන්ට තමන්ගෙ Power එකෙන්ම Celestial කෙනෙක්ව මරන්න පුලුවන් වෙන විදියෙ හැකියාවක් දුන්නෙ මොකද කියලා පොඩි අවුලක් තියෙනවා නේද. මොකද මේ වගේ Celestial ලගෙ mission එකට පිටින් Eternals ලා වැඩකරපු අවස්ථා මීට කලින් වෙලාම නැත්ද කියලා හිතෙනවා නෙ..🤔🤔 මුන් සෙට් එක නිකන්ම Celestial ලට විරුද්ධව වැඩ කරන්න එකතු උනා වගේ වෙන Eternals ලත් වැඩ කරන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. එහෙම එකේ තමන්ම හදලා memory clean කරලා යවන Eternals ලා යම් විදියකින් තමන්ට විරුද්ධ උනොත් ඒකට Backup plan එකක් වත් නැතුව මෙහෙම Powers දුන්නෙ මොකද කියන එක ලොකු අවුලක් 😏😏
ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි Eternals බලපු මට ප්‍රශ්න, අවුල් සහගත තැන් විදියට දැනුනෙ. කොහොමහරි ෆිල්ම් එක ගැන කිව්වොත් Overall average ෆිල්ම් එකක්. හොඳ නරක දෙකම තියෙනවා. ඒවගේම කාලෙකින් MCU එකෙන් ආපු වෙනස්ම ජාතියෙ ෆිල්ම් එකක්. මාරම ලස්සන Visual Masterpiece එකක් කියන්න පුලුවන් වැඩක් ❤️❤️සමහරවිට මට ආපු ගැටලු වලට MCU එකේ ඉදිරි project වලින්ම උත්තරත් ලැබෙන්න බැරිකමක් නෑ. මොකද ඒ විදියට ප්‍රශ්න ඇති උනාම ඒවට ඉදිරි කොටස්වලින් හොඳට ගලපලා උත්තර දෙන එක Marvel එකෙන් ඉස්සර ඉදන්ම කරගෙන ආපු වැඩක් නිසා..😌😌 කොහොමහරි මේ ටික තමයි ෆිල්ම් එක ගැන කියන්න තියෙන්නෙ. මීට අමතරව Eternals බලලා ඔයාලට දැනුන දේවලුත් පහලින් Comment කරගෙන යන්න. එහෙනම් තවත් මේ වගේ අපූරු සිනමාපටයකින් හමුවෙන්නම්. සිනමාලෝලී සියලුම දෙනාට ජයවේවා !!
PRG...