රාජ්‍ය සේවයේ සේවා වර්ග කළ හැකි ආකාර කීපයක් තිබෙනවා. එකක් ඒකාබද්ධ සේවා. රාජ්‍ය කළමනාකරණ සේවය ඒකාබද්ධ සේවාවක්. එයට අයත් වන අයට රජයේ විවිධ දෙපාර්තමේන්තු, ආයතන ආදියෙහි සේවය කරන්නට පුළුවන්. ඒවා අතර ස්ථාන මාරු ලබාගන්නට පුළුවන්.
දීප ව්‍යාප්ත සේවා කියන්නෙ තවත් ආකාරයක සේවා වර්ගයක්. රාජ්‍ය පරිපාලන සේවය ඇතුළු රජයේ විධායක සේවාවන් 12ක් දීප ව්‍යාප්ත සේවා ගණයට අයත් වෙනවා. ඒවායේ නිලධාරීන්ට දිවයින පුරා ඕනෑම තැනක සේවයේ යෙදෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් රජයේ අනෙකුත් සේවකයන් මධ්‍යම රජයට හෝ පළාත් සභාවලට අයත් වන නිසා ඔවුන්ට සේවය කරන්නට සිදු වන්නේ එම සීමාව ඇතුළේයි. උදාහරණ ලෙස, පළාත් සභාවකට අයත් පාසලක සේවය කරන ගුරුවරයකුට ජාතික පාසලකට මාරුවීමක් ලබාගැනීම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. දීප ව්‍යාප්ත සේවාවල නිලධාරීන්ට එහෙම නැහැ.
සංවෘත සේවා සංකල්පය අදාළ වන්නේ මූලික වශයෙන් වැටුප්, වරප්‍රසාද හා සේවා ගුණාත්මකභාවයටයි.
අංක 6/2006 චක්‍රලේඛය මගින් සියලු රාජ්‍ය සේවාවන් පොදු ව්‍යූහයකට අරන් තියෙනවා. එමගින් රජයේ වෘත්තීය සේවා අතර එකිනෙකට සමාන්තරභාවයක් නිර්මාණය වෙනවා. මේ හේතුවෙන් රජයේ එක් සේවයකට වැටුප් වැඩි කළ විට ඒ හා සමාන්තර අනෙකුත් සේවාවන්ට වැටුප් විෂමතා නිර්මාණය වෙනවා. දැන් තිබෙන වැටුප් විෂමතා අරගල කියන්නේ ඒවායි.
යම් රාජ්‍ය සේවාවක් සංවෘත සේවාවක් බවට පත් කළ විට, එම සේවාව වෙනම සලකා බලා වැටුප් සහ වෙනත් වරප්‍රසාද සම්බන්ධයෙන් තීරණ ගත හැකියි. උදාහරණයක් ලෙස ගුරු සේවයේ තිබෙන යම් විශේෂත්වයන් තිබෙනවා. ගුරු සේවයේ යෙදෙන අයට අතිකාල දීමනා, බටා ආදිය හිමිවන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට අමතර ආදායම් නැහැ. ගුරු සේවයේ බහුතරයකගේ වැටුප් රු. 29,000 – 33,000 අතරයි තියෙන්නේ. බොහෝ ගුරුවරුන්ට දිනකට රු. 1000කවත් වැටුපක් නැහැ. ඒ නිසා, ගුරු සේවයේ මෙම විශේෂ තත්වය සැලකිල්ලට ගෙන වැටුප් වැඩි කළ යුතුයි. ඒ බව, 2007දී ගුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුවකත් සඳහන් වෙනවා.
දුම්රිය සේවය පමණක් නොවෙයි, ගුරු සේවයත් සංවෘත සේවාවන් බවට පත් කරන්නට රජය ඔක්තෝබර් 1දා තීරණය කළා. ඒ අනුව, එම සේවාවන් රාජ්‍ය සේවයේ පොදු ව්‍යූහයට අයත් වන්නේ නැහැ. එමගින් එම සේවාවන්ගේ වැටුප් ඇතුළු වෙනත් ගැටලු විසඳීම හා සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම පහසු වෙනවා.
(උපුටා ගැනීමක්)