ලෝක සත්වයා හට සම්‍යක් දර්ශනය පහළවුණු දිනය ලෙස ඇසළ පුන් පොහොය දිනය වන්දනීයත්වයට පාත්‍ර වේ. දෙසැටක් මිසදිටු නැමැති දැලෙහි පැටලී නංවිධ අත්තකිලමථානු යෝග ක්‍රමවල හා කාමසුඛල්ලිකානු යෝග ක්‍රමවල ගැලී සිටි ලෝකයාට තතාගත සම්බුදු පියාණන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව නම් වූ උතුම් ජීවන මාර්ගය දේශනා කළ දිනය ඇසළ පුන් පොහෝදා යි. විශාලතම සමාජ විපර්යාසයක්, බුද්ධි විප්ලවයක්, ආගමික උද්යෝගයක්, චින්තන ප්රබෝධයක් ඇති කළ මෙම ඇසළ පුනු පොහෝදා ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශීයක්ම සිදුවී ඇති බව පත පොතහි සදහන් වේ.
★ අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.
★ සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්,
රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි.
★ ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.
★ තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.
★ මාතා දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජම්බණ දේශනා කිරීම.
★ කොණඩඤ්ඤ තවුසාගේ සෝවාන් වීම
★ ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.
★ ප්‍රථම ඛණ්ඩ සීමාව සාංඝික කිරීම.
★ කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.
★ විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.
★ බු.ව. 382 දී දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම.
★ රුවන්වැලි මහා සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්රාතිහාර්ය මැද සිදුවීම.
★ කිත්සිරි මෙවන් රජ දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.
තෙරුවන් සරණයි!
- මාධ්‍ය කාර්යාංශය | Media Bureau
#EsalaPoya #SriDaladaMaligawa
www.sridaladamaligawa.lk/four-poya-days