මාතලේ උකුවෙලට ආසන්නව පිහිටි ඇල්කඩුව තේ වතු යාය ඇල්කඩුව වැවිලි සමාගමට අයත් විශාලතම හා ඉහළම ආදායමක් උපයන වතුයාය වෙයි. ඇල්කඩුව වතුයායේ හපුවිද කොටසේ පිහිටි කුඩා ජලාශයක් අලංකාර සුවිසල් වැවක් බවට පත් කර, ඒ අවට පරිශ්‍රය අද වන විට දෙස්-විදෙස් සංචාරකයන් අතර සුපතළ සංචාරක ආකර්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ සංකල්පය මුලින්ම පිළිසිඳගත්තේ රැඩ්ලි දිසාගේ නම් අපූරු මිනාසාගේ සිත තුළය. අපූරු සිතිවිල්ලකින් බිහි වූ ඒ මහා සිහිනය යථාර්ථයක් බවට පත් කරගත් කතාවද ඔහු නිමැවූ සෙම්බුවත්ත වැව තරමටම රසවත්ය, අපූරුය!
යටත්විජිත සමයෙහි සුදු ජාතිකයන් විසින් පාලනය කරන ලද ඇල්කඩුව වතු යායේ තේ කම්හල විවෘත කර ඇත්තේ 1949 දීය. එකල වත්තේ පාලකයන් වූ සුදු ජාතිකයන් පෝලෝ ක්‍රීඩා කළ පිටිය පසුකලෙක කම්හලේ යන්ත්‍ර-සූත්‍ර ක්‍රියාකරවීම සඳහා විදුලිය උත්පාදය කරනු පිණිස තනාගත් කුඩා ජලාශයක් බවට පත් විය. කාලයාගේ ඇවෑමෙන් සිහලුන් අතට පත්වූ වතුයාය නිසරු වීමත් සමඟ තේ අස්වනු අඩු වූයෙන් 1987 වසරේ කම්හල වසාදමනු ලැබිණ. හෙක්ටයාර 447ක් හෙවත් අක්කර 1106ක වපසරියකින් යුතු ඇල්කඩුව වතුයාය 1993 ජනවාරි 23 දා සමාගමක් බවට පත් කරන ලදි. නැවත 1999දී රජයට පවරාගත් එය වරින් වර බලයට පත් විවිධ රජයන් යටතේ විවිධ අමාත්‍යාංශ හා ආයතන යටතේ පාලනය කෙරිණි. වත්මන් රජය යටතේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා යටතට පත් වූ සමාගමෙහි සභාපතිවරයා ලෙස නිලූ විජේදාස මහතා කටයුතු කරයි.
වර්තමානය වන විට ඇල්කඩුව වතුයාය වඩාත් ප්‍රකටව ඇත්තේ තේ වගාව සඳහා නොව, සංචාරක ආකර්ෂණ මධ්‍යස්ථානයක් ලෙසය. පාඩු ලබමින් තිබූ සමාගමට සංචාරක ව්‍යාපෘතියක් හඳුන්වා දෙමින් එය සමාගමේ ප්‍රධාන ධනෝපායන මාධ්‍යය බවට පත් කිරීමේ ගෞරවය එහි ජ්‍යෙෂ්ඨ වතු අධිකාරී රැඩ්ලි දිසාගේ මහතාට හිමි වෙයි. ‘ගමනයි ගිමනයි’ තුළින් අද අප ඔබට කියන්නේ ඒ මනරම් සෙම්බුවත්ත ජලාශයෙහි උත්පත්ති කතාවයි.
මහනුවර නගරයෙන් මහනුවර - මාතලේ ප්‍රධාන මාර්ගය ඔස්සේ උකුවෙලට පැමිණ හන්දියෙන් කි.මී 13ක් දකුණට හැරී යන විට ඇල්කඩුව හමු වෙයි. ඇල්කඩුව හන්දියෙන් දකුණට හැරී හුණුගල පාරේ කිලෝමීටර පහක් ගමන් කළ විට සෙම්බුවත්ත ජලාශ පරිශ්‍රය හමු වෙයි. ඇල්කඩුව වත්තේ හපුුවිද කොටසේ පිහිටි පැරැණි තේ කම්හල අසලින් ඉහළට විහිද යන බොරලු පාර ඔස්සේ ගමන් කර වැව් තෙරට ළඟා විය හැකිය.
සුන්දර නකල්ස් කඳුවැටිය පසුබිම් කරගත් කැලෑබොක්ක වතුයායේ සිට ගලා හැළෙන සුනිල දිය දහරාවන්ගෙන් සෙම්බුවත්ත වැව පෝෂණය වෙයි. සරු සාර නීල හරිත තේ යාය මැද ඝන පයිනස් කැලෑවකින් වටවූ වැව අවට පරිසරය සිසිල්ය, සුවදායකය. උඩරට කඳුකරයට බෙහෙවින් සම වන එහි දේශගුණය වරින් වර වෙනස් වෙයි. අරුණලු නැගෙන හිමිදිරියේ ද, හිරු බැස යන සන්ධ්‍යාවේද දැනෙන සීතල ඇඟමස පසාරු කරවන තරම් දැඩිය. හොඳින් හිරු එළිය වැටෙන මධ්‍යාහ්නයක් යනු සෙම්බුවත්තට නම් ඉඳහිට ලැබෙන තෑග්ගක් බඳුය. උදෑසනද, මධ්‍යාහ්නයද, සැඳෑවද යන වෙනසකින් තොරව පරිසරය වෙළාගන්නා ඝන මීදුම් පටලය පිළිබඳ අනාවැකි කියන්නට සමතකු නොවන තරම්ය. ඝන නිල් ජල කඳින් වැසුණු සෙම්බුවත්ත වැව අඩි 35ක් පමණ ගැඹුරුය. නිල්වන් තේයාය මැදි කරගත් දුඹුරුවන් කඳින් යුතු ෆයිනස් රුක් ගොමුව හිරු රැසින් වසන් කරවන පරිසරය අඳුරුය, නිහඬය. ඒ නිහඬ බව මෙන්ම මඳ අඳුරද, දැඩි මීදුම ද වැවෙහි ඝන නිල් ජල තලය ද වරෙක පරිසරයට කිසියම් ගූඪ බවක්ද එක් කරයි.
වැව්පිටිය කෙළවර ඉදි කරන ලද ගිම්හාන කුටියකට වැද සඳ පහන් රාත්‍රියක අහස්කුස අසිරිය බලන්නට, ගීයක් ගයා පරිසරයේ ගූඪ නිහැඬියාව බිඳලන්නට, හිමිදිරි උදෑසන වැව් තෙර අද්දරින් තුරු වදුළු අතරින් නැග එන රන්වන් හිරු කිරණෙහි රඟ බලන්නට නම් එක් රැයක් වත් ඔබ එහි නවාතැන් ගත යුතුය. මධ්‍ය කඳුකරයට ආවේණික වන සතුන් නරඹමින් විහඟ ගී අසන්නට නම් ඔබේ ගී හඬ මොහොතකට නවතා පරිසරයේ නිහැඬියාව හා සමඟ දැහැන්ගත විය යුතුය. ෆයිනස් යාය මැද අටවාගත් කූඩාරටමක් තුළ සීතලේ ගැහෙන සිරුර රත් කරගන්නට එළිමහනේ ගැසූ ගිනිමැලයක් හැර අන් සරණක් නොවනු ඇත.
රැඩ්ලි දිසාගේ නම් දිරිය මිනිසා පළමුව ඇල්කඩුව වැවිලි සමාගමේ ඇල්කඩුව වත්තේ වතු අධිකාරිවරයකු ලෙස සේවයට එන්නේ 2005 වසරේය. ඇල්කඩුව වතු යායට පැමිණීමට පෙර වෙනත් වතුවල හා යුදහමුදාවේ සේවය කර ඇති අතර, ඔහු 2005 වසරේදී ඇල්කඩුව වතුයාය බාර ගන්නා විට පරිහානියට පත් වී තිබිණි. එය 2004 වසරට පෙර වාර්ෂිකව රුපියල් මිලියන 14.5ක් පාඩු පිට පවත්වාගෙන යමින් තිබිණි. ඒ වන විට වගා කළ තේ අක්කර 313ක් වූ අතර, වගාවෙන් 82%ක්ම ඇට තේ ය. පැරැණි ගස්වලට පොහොර යෙදූ කාලයක් මතක නැත. අස්වනු පිරිහී කම්කරුවකු දෛනිකව නෙලන ලද අමු තේ දලු කිලෝ ප්‍රමාණය කිලෝ අට දක්වා පහත බැස තිබිණි. 2013 නොවැම්බර් මස වෙනත් වතු යායකට මාරු කර යැවූ දිසාගේ මහතා වෙත 2016 පෙබරවාරි මාසයේ වත්මන් සභාපතිවරයා විසින් යළිත් ඇල්කඩුව වතුයාය බාර දී ඇත්තේ කෙටි කලකින්ම එය ලාභ ලබන ආයතනක් බවට පත් කිරීමේ භාරධුර අභියෝගයද සමඟිනි.
කවදත් අභියෝග හමුවේ නොසැලෙන දිසාගේ 2005දී ඒ අභියෝගයද භාරගත්තේ දැඩි ආත්ම විශ්වාසයෙනි. වත්තේ කෘෂිකර්මික අංශද, ජනදිවිය ද නඟාසිටුවමින් අමතර ආදායමක්ද ලැබිය හැකි මගක් සොයමින් වෙහෙසුණු ඔහුට අත්හැරදමන ලද පෝලෝ පිටිය මැද පිහිටි කුඩා ජලාශය වැවක් බවට පත් කර, එයින් උපදවන ජල විදුලියෙන් පවුල් 89ක් ජීවත් වූ කම්කරු නිවාසවලට විදුලිය සැපැයිය හැකි නොවේදැයි සිතිණි. වල් බිහි වූ පෝලෝ පිටියේ කැලෑව එළි කොට, එහි වූ ජලාශය වට කොට, ගල්වැටි තනා කාණු බැඳ එහි වැවක් තනන්නට ශ්‍රමයෙන් සහාය දක්වන ලෙස ඔහු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය. දිනකට තේ කිලෝ අටක් පමණ කඩා මාසයකට දින දහයක් පමණක් වැඩ කර ලැබෙන සොච්චම් පඩියෙන් එදාවේල සරි කරගෙන හැන්දෑවට මත්වතුරින් සැනැහී කුසීතව නිදන්නට හුරුපුරුදු වී සිටි කම්කරුවෝ ඔහුගේ යෝජනාවට එක හෙළා විරුද්ධ වූයේ එය ඔහු දකින විකාරරූපී සිහිනයකැයි සිතා එක බැහැරලමිනි. උත්සාහය අත් නොහළ වතු අධිකාරීවරයා ලැයිම් පේළියේ ගෙන් ගෙට යමින් කම්කරුවන් දැනුවත් කළ අතර අවසන අග හිඟ කම්වලින්ද සා ගින්නෙන්ද දැවෙමින් සිටි කම්කරු කාන්තාවෝ පමණක් ඔහුට සහාය දෙන්නට එක් වූහ.
ස්වකීය ධන පරිත්‍යාගයෙන්ද, මිතුරු මිතුරියන්ගේ උපකාරයෙන්ද ව්‍යාපෘතියට ඇවැසි ගල් වැලි සිමෙන්ති හා යකඩ සපයාගත් හෙතෙම හුන්නස්ගිරිය තේ කම්හලේ වැඩ කළ පැරැණි කාර්මිකයකු වූ රත්නායක සහ හපුවිද කම්හලේ කම්කරුවකු වූ බාලයියා මහත්වරුන්ගේ සහය ඇතිව ජල උත්පාදන යන්ත්‍රය පිළිසකර කළේය. කම්කරු කතුන් පනස්දෙනකු හා එක්ව වැව් බැඳීමේ යෝධ කාරියට මුල පිරුවේය. කාණු කපා අගල් තැනීමට ඇවැසි මෙවලම් බහා ලු පළමු ගෝනිය කර තබාගත් රැඩ්ලි පෙරටු කරගත් කාන්තාවෝ ශ්‍රම දායකත්වයෙන් ඔහුට උපරිම සහය දැක්වූහ. මාස 3-4ක් පමණ වූ වෙහෙසකර ව්‍යායාමයකින් පසුව සිඳී ගොස් තිබූ ජලාශය අඩි 35ක් පමණ උසට ජලය රැඳෙන සේ උල්පත් ජලධාරා හරස් කර පිටවාන, වේලි බැඳ එහි ජලය පුරවා වැවක් තනාගන්නට ඔවුහු සමත් වූහ. පැරණි කම්හලේ අත්හැර දමා තිබූ ටර්බයින් යන්ත්‍රය සිය මුදල් යොදවා රත්නායක කාර්මික මහතා අතින් පිළිසකර කරගන්නා ලදුව වත්තේ නිවාස 89ටම විදුලිය ලබා දීමට අධිකාරිවරයා සමත් විය. එතෙක් අඳුරේ ගිලී පැවතුණු ජන ජීවිතය ආලෝකවත් වීමත් සමඟ ප්‍රබෝධවත් වූ ජනතාව එකාවන්ව එක් වී අධිකාරිවරයාට සහාය දක්වන්නට වූහ. කැඩී-බිඳී තුබුණු වතු නිවාස අලුත්වැඩියා කර, කම්කරුවන්ට වැසිකිළි පහසුකම්ද සපයා දෙමින් වතු සමුපකාර සමිතිය කාර්යක්ෂම භාවයට පත් කර සහන මිලට භාණ්ඩ ලබා දෙමින් ඔවුන් දිරිමත් කළ අධිකාරිවරයා එතෙක් පාසල් නොගිය වතු දරුවන් පාසල් යැවීම අනිවාර්ය නීතියක් බවට පත් කළේය. කඳුරට නව ගම්මාන හා වතු යටිතල සංවර්ධන අමාත්‍යාංශයේ සහයෙන් කම්කරුවකුට පර්චස් හතක් සහ නිවෙසක් සින්නක්කරව ලබා දීමට ද කටයුතු යෙදුවේය. නොසලකා හැර තිබූ තේ ගස්වලට පොහොර නොයොදාම කම්කරුවකු විසින් දිනකට කඩනු ලබන තේ දලු කිලෝ සංඛ්‍යාව විස්ස දක්වා ඉහළ නැංවීය. පැරැණි ඇට තේ වෙනුවට අලුතින් පැළ සිටුවා පොහොර යොදා අස්වනු සරු කිරීමට ඔහුට ගත වූයේ ඉතා කෙටි කාලයකි.
හිතේ වීරියෙන් දෑතේ වෙහෙස යොදා තනාගත් වැවට ‘සෙම්බුවත්ත වැව’ යන නම පටබැන්දේද දිසාගේ මහතාමය. ඒ පැරැණි ජනප්‍රවාදයක් ඇසුරිනි. අතීතයේ හපුවිද වතුයාය අසලින් ගලා හැලුණු දියකඳුරකින් පොහෝ දිනවලදී රත්‍රන් සෙම්බුවක් මතුව ආයේලු. එවකට වත්තේ වැඩ කළ පූජකවරයා එම රන් සෙම්බුව රැගෙන ඉන්දියාවට පලා ගියේලු. අනතුරුව ඒ පූජකයාගේ පුතා විසින් ඒ සෙම්බුව පැමිණි තැන කෝවිලක් ඉදි කර පුද පූජා පැවැත්වූවේලු. අද ද එම කෝවිලෙහි නටබුන් එහි ශේෂව පවතී. එදා සිට අද දක්වා ම හාස්කම් ඇතැයි හින්දු කම්කරුවන් අදහන සෙම්බුවත්ත ආශ්‍රිතව ඉදි කළ වැව ‘සෙම්බුවත්ත වැව, යනුවෙන් නම් කරන්නට රැඩ්ලි මහතා අදහස් කළේ එහෙයින් යැයි ඔහු කියයි. අලුතින් තැනූ වැව නිසා වඩාත් ශෝභමාන වූ සෙම්බුවත්තේ සිරි නරඹන්නට වටින් පිටින් සෙනඟ ඇදී එන කළ මෙය සංචාරක ආකර්ශනයක් ලෙස සංවර්ධනය කළ හැකි නොවේදැයි දිසාගේ මහතාට සිතිනි. සිය අදහස සමාගම වෙත ඉදිරිපත් කළ ඔහුට සභාපතිවරයාගේ පූර්ණ අනුග්‍රහයද අනුමැතියද ලැබිණි. ඒ අනුව වැව අසල භූමිය බාහිර ශාරීරික හා මානසික පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ඔහු කටයුතු කළේය. සෙම්බුවත්තට නැරැඹීමට එන සංචාරකයන්ට ලබා දෙන ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලබන ආදායමෙන් 25%ක් ව්‍යාපෘතියේ නඩත්තු කටයුතු සඳහාද 75%ක් ඇල්කඩුව සමාගමටද යෙදවෙයි.
වැව අසල පිටියෙහි ඉදි කළ දිය තඩාගයෙහි කිමිදී පිහිනා නාන්නට, හංස බෝට්ටුවක නැගී වැව වටා යාත්‍රා කරන්නට, කයාකි පාරුවක නැගී රවුමක් යන්නට මෙන් ම වැව හරහා බඳින ලද කේබලයක නැගී ත්‍රාසජනක අත්දැකීමක් විඳගැනීමට එහි පහසුකම් සලසා තිබේ. වායු රයිෆලයෙන් ඉලක්කයට වෙඩි තබන්නට, ෆයිනස් තුරු අතරින් නැගී නකල්ස් රක්ෂිතයේ ඇවිදින්නට මෙන්ම වනය තුළ කඳවුරු බැඳ ගිමන් හරින්නටද ඔබට හැකි වනු ඇත. පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන්ගේ ආත්ම ශක්තිය වඩවන බාහිර පුහුණු කඳවුරක් ලෙසද එය ප්‍රකටය. දෙස්-විදෙස් සංචාරකයන් සඳහා අලුතින් ඉඩ-කඩ සහිත පහසුකම් මධ්‍යස්ථානයක්, ලැගුම්හලක් හා කුඩා ළමයින් සඳහා ක්‍රීඩා පරිශ්‍රයක්ද එහි ඉදි කෙරෙමින් පවතී. වතුයායේ කාමර 3කින් යුතු පැරැණි බංගලාව දැන් සංචාරකයන් සඳහා විවෘතය. පැරැණි කම්හලෙහි පිහිටි ආපනශාලාව නවීකරණය කර අන්තර්ජාතික තලයේ ආපනශාලා සහ සුපිරිවෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමටද සූදානම්ය. වර්තමානය වන විට සෙම්බුවත්ත විදෙස් සංචාරකයන් අතර අතිශයින් ජනප්‍රිය වී තිබේ. 2017 අගෝස්තු මාසයේ පමණක් එයින් ලද ආදායම රුපියල් ලක්ෂ 100 ඉක්මවා තිබේ. 2006 සිට 2017 දක්වා දිසාගේ මහතා දියත් කළ මෙවැනි ව්‍යාපෘති මඟින් ඇල්කඩුව සමාගම වෙත රුපියල් මිලියන අනූපහක ලාභයක් උපයා දෙනු ලැබ තිබේ. සෙම්බුවත්ත සංචාරක ව්‍යාපෘතියෙන් වත්තේ සියලු කම්කරුවන්ට වතුවැඩට අමතරව වක්‍ර රැකියා උදා වී තිබේ. ව්‍යාපෘතියේ වතුකර තරුණ-තරුණියන් 35 දෙනකුට ඍජු රැකියා අවස්ථා උදා වී ඇත. ප්‍රදේශවාසීන් රැසකටද ත්‍රිරෝද රථ රියැදුරන්, මගපෙන්වන්නන් හා ජංගම වෙළෙඳාමෙන් වක්‍ර රැකියා රැසක් ලැබී තිබේ.
සෙම්බුවත්ත වැව් පරිශ්‍රය හුදු පරිසර සිරි විඳින්නට මතු නොව, බොහෝ බාහිර කටයුතු සඳහා ද උචිතය. නායකත්ව පුහුණු කඳවුරු, රාත්‍රී ගිනිමැල සංදර්ශන, එළිමහන් කඳවුරු, උපන්දින සාද, කාර්යාල සුහද හමු සහ චාරිකා මෙන්ම චිත්‍රපට රූපවාහිනී සහ ගීත රූප රචනා පසුතලයක් ලෙසද එය ඉතා සුදුසුය. සුපුරුදු සංචාරක ස්ථාන වෙනුවට නැවුම් අත්දැකීමක් විඳගැනීමට සෙම්බුවත්ත කදිමය. වැඩි විස්තර ඇල්කඩුව වතුයායේ 066 3682459 හෝ 066 493567 යන අංක විමසා දැනගත හැකිය.
සෙම්බුවත්ත පිළිබඳ ලිපිය ඇසුරෙන් අප අසන සරල ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරු ලියා කූපන දොළහක් එකවර අප වෙත එවීමෙන් දොළොස් දෙෙකුට එකවර සෙම්බුවත්ත පරිශ්‍රයේ නොමිලේ නවාතැන් ලබා දීමට සමාගම සූදානම්ය. කණ්ඩායමක් ලෙස ඔබ එවන කූපන එක් කවරයක් තුළ බහා එවන්න. ජයග්‍රාහී කණ්ඩායමට හිමි ත්‍යාගය එම කණ්ඩායමේ නම කූපනය පළ වී සතියක් ඇතුළත අදාළ ආයතනය අමතා ඔබට පහසු දිනයක් වෙන් කරගන්න. කල්ගත වී කරනු ලබන ඉල්ලීම් ප්‍රතික්ෂේප වීම පිළිබඳ පුවත්පත වගකීම බාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
සාගරිකා දිසානායක
📷 credit goes to original photographers