රස්සාවට වඩා අමාරුයි කියනවනේ පරස්තාව. දැන් කට්ටිය කසාද බැඳලා ඒ අනිත් පැත්තට දික්කසාදෙට ෆයිල් අමුණන හැටි දැක්කම නම් ඕකත් මහ කජ්ජක්ද කියලා කෙනෙක්ට හිතෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත්, මානව ශිෂ්ටාචාරය ගැන කතා කරනකොට මේ “විවාහය" කියන මාතෘකාවට ලැබෙන්නේ සෑහෙන ඉහළ තැනක්. කැපකිරීම් ගාණක් කරන්න වෙන, පවුල කියන සංකල්පයට නීතිමය පදනම හදන දෙයක් නිසා තමයි මේක මෙච්චර බරපතල විදියට සැලකෙන්නේ.
පුරාණ ශ්‍රී ලංකාවේ විවාහත් එක්ක, අද කාලේ වෙන විවාහ සලකලා බැලුව ම, සෑහෙන්න වෙනසක් තියෙනවා. අපි අද මේ කියන්න යන්නේ පුරාණ ලංකාවේ තිබුණු විවාහ ක්‍රම කීපයක් ගැන.
මොකක්ද මේ විවාහය කියන්නෙ
මානව ශිෂ්ටාචාරය සම්බන්ධ අධ්‍යනයයන්හි අතිශය වැදගත් තේමාවක් වු 'විවාහය' නම් සංස්ථාව මිනිසා පිළිබඳ වෘත්තාන්තයෙහි, එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි . විශේෂයෙන්,මානව සංහතිය උදෙසා අවශ්‍ය ප්‍රජාව බිහි කරන නෛතික පදනම හිමිවනුයේ ද,ස්ත්‍රියක් හා පුරුෂයෙක් විවාහ සංස්ථාවට ඇතුළු වීමෙනි.
ඒ අනුව විවාහය,සභ්‍ය සමාජයේ නීත්‍යානුකූල ක්‍රියාකාරී සංස්ථාවක් වී ඇත. විවාහ ජීව්තය නම් ස්වාමියා හා භාර්යාව අන්‍යෝන්‍ය ගෞරවය හා ප්‍රේමය පදනම් කරගෙන ගත කරන්නා වු චර්යා මාර්ගයක් වෙයි. එකී චර්යා පද්ධතිය විශ්වාසය හෝ ආවේණික සම්ප්‍රදායන් මඟින් අනාදිමත් කාලයක සිට පැවතුණි. වර්ගයාගේ ව්‍යාප්තිය පමණක් නොව ආදරය, ආරක්ෂාව, ශික්ෂණය ආදී චෛතසික ගුණ වගාවේ අර්ථ සිද්ධීන් රැසක් ඉටු කරන 'විවාහය' නම් සැබවින් ම සංකීර්ණ සංස්ථාවකි.
බොනිස්ලෝ මැලිනොවුස්කි වරක් පවසා ඇත්තේ; "විවාහය වු කලී දරුවන් බිහි කිරීම හා වැඩී ම පිළිබඳ ගිවිසුමක්" ලෙස යි. එලෙස විවාහය සම්බන්ධයෙන් නිර්වචන පළ වෙද්දී, නූතන සමාජ ලෝකය දෙස බැලූ කළ එය ස්වජාතික ද නැතිනම් විජාතික ද යන්න පවා නීර්ණය කළ නොහැකි තරමට සංකීර්ණත්වයට පත් ව තිබේ. නීති රීති ආදිය කාලානුරූපව වෙනසකට භාජනය වුවත් විචාර බුද්ධියකින් ක්‍රියා කිරීම වැදගත් සභ්‍යත්ව ලක්ෂණයකි. මේ අතර,සම්ප්‍රදායානුකූලව හෙළ කුළ සිරිතට අනුව යමින් පාවඩ ලා, ජයසක්හඬ මධ්‍යයේ, පතිකුලයට සපැමිණෙන සීංහල විවාහ මංගලෝත්සව අද වුව මැනවින් දෘශ්‍යමාන වේ. එවැන්නකින් හෙළි වන්නේ අමුතුම ආකාරයේ හෙළ අනන්‍යතාවකි. එය සැබවින් ම 'සීංහල විවාහයක්' බවට දුටු දුටු දනන්ගේ නෙත් සිත් සපථ කරවන්නකි.
සිංහල විවාහ ක්‍රම
පුරාණ සිංහල සමාජයේ විවාහ ක්‍රම ප්‍රධාන වශයෙන් දෙවැදෑරුම් වේ.
දීග විවාහ
බින්න විවාහ
දීග විවාහ
ස්ත්‍රියක් සරණ පාවා දීම හෙවත් ස්වාමි පුරුෂයාගේ නිවසට ඇය කැන්දා ගෙන යාම දීග විවාහය යි. 1938 අංක 39 දරණ උඩරට නීති ප්‍රකාශන අනුව දීග විවාහයකින් පියා සතු වස්තුව දුවට අහිමි වේ. එහෙත් පුරාණ නීතියට අනුව දීග ගිය දූවණියකට පියා සතු දේපළ(සිය අයිතිවාසිකම්) ලබා ගැනීමේ ක්‍රම පවතී. නමුදු, මෙය සදාචාරාත්මක ගැටළුවකි.
ක්‍රි.ව. 1660 දී, ලංකාවට ගොඩ බැස විසි වසරක් වාසය කළ රොබට් නොක්ස් සිංහලයන්ගේ සිරිත් විරිත් හා ගතිගුණ ආශ්රයෙන් ලියු ඓතිහාසික විස්තරයේ 16 වැනි සියවසේ, සිංහලයින්ගේ අවාහ-විවාහ සම්බන්ධව ලියූ කොටසක් පහත දැක්වෙන පරිදි 'එදා හෙළ දිව' කෘතියෙන් උපුටා ගන්නා ලදී.
"මනාලිය සිය ගෙදරට කැන්දා ගෙන ඒමෙන් පසු ස්වශක්ති ප්‍රමාණයෙන් මනාලයා සිය නිවසෙහි මංගල සාදයක් පිළියෙල කරන්නේය.දින කිහිපයකට පසු මනාලියගේ බන්ධූහු ආහාර අඩුක්කු කඳ බැඳ ගෙන නැතහොත් ගැල්වල පටවාගෙන මනාලිය බලන්නට මනාලයාගේ නිවසට පැමිණෙති. මෙදින ද සුළු උත්සවයක් වෙයි. එනම්, මනාලයා ස්ත්‍රිය ඇඳි වස්ත්‍රයෙන් කොණක් ගෙන, ස්ත්‍රිය අනෙක් කොණ ඇඳගෙන සිටියදී දෙදෙනාම තෙමී යන පරිද්දෙන් වතුර වත් කිරීමයි. මෙම අභිෂේකයෙන් පසු ඔවුහු ජීවිතාන්තය දක්වා, නැතහොත් හැකිතාක් කල්, එක්ව වාසය කිරීමට තදින්ම බැඳුණාහු වෙති."
බින්න විවාහ
පුරුෂයා ස්වකීය නිවසින් වෙන් ව ගොස් භාර්යාවගේ නිවසෙහි පදිංචියට යාමෙන් සිදු කරන විවාහය යි. යුරෝපීයන් පැමිණීමට පෙර සිට ම බින්න විවාහ මෙරට සමස්ථ සමාජය පුරා ම ව්‍යාප්ත ව පැවති බවට සාක්ෂි හමු වේ. එසේ ම,බින්න විවාහයට පත් වන ස්වාමි පුරුෂයින් ගිනි හුලක්, තල් අත්තක්,සැරයටියක්, සුදානම් කරගෙන සිටිය යුතු යැයි ග්‍රාමීය ව්‍යවහාරයේ පවතී. මෙම උපහාසාත්මක වැකියෙන් හැඟෙනුයේ බිරිඳගේ නිවසින් ඔහුට කුමන හෝ වෙලාවක ගෙයින් පිටවී යන්නට සිදු වේද කියා නොකියා කීමට යි.
මීට අවශේෂ විවාහ ක්රමයන් කිහිපයක් පිළිබඳව ද පුරාණ ලක් සමාජයෙන් හෙළි වේ.
ඇවැස්ස විවාහය
"වැහිදිය අයිති ගං හෝ සමුදුරටයි - මල් පැණි අයිති වට ගුමු දෙන බඹරාටයි
මීරා අයිති කිතුලේ කළ වැද්දාටයි - නෑනා අයිති කාටද මස්සිනාටයි"
ඒ කාලේ ජන සමාජයේ ඇවැස්ස නෑකමට, විවාහයට තිබුණු තැන ගැන මේ වගේ කවිවලිනුත් පැහැදිලි වෙනවා. වෙනම කාණ්ඩයක් විදියට වෙන් කරන්න අමාරු වුණත්, මේ විවාහ ක්‍රමය ගැනත් පොඩ්ඩක් මතක් කරොත් හොඳයි කියලා හිතුවේ ඒකයි.
මහනුවර යුගයේ හොඳ ම විවාහ ක්‍රමය විදියට සැලකුණේ මෙයයි. මේ ක්‍රමයට අනූව, සහෝදරයෙකුගේත් සහෝදරියෙකුගේත් පවුල් දෙක අතර විවාහ සිද්ධවෙන්න පුළුවන්. නෑකම නිසා, පොඩි කාලේ පටන් මේ දෙන්නා අඳුනාගැනීමට අවස්ථාව ලැබෙන නිසා, මේ වගේ විවාහ සාර්ථක වෙන බවට මතයක් ගැමියන් අතරේ තිබුණා. ඇවැස්ස මස්සිනා ඉද්දී, නෑනා කෙනෙක් වෙන පුද්ගලයෙක් එක්ක දීග යනවනම්, ඇවැස්ස මස්සිනාගෙන් අවසරය ගත යුතුය යන සිරිත ඇති වුණෙත් මේ නිසයි..
එකගෙයි කෑම
පුරාණ සිංහල විවාහ ක්‍රම අතර සහෝදරයන් කිහිප දෙනෙකු සිටින පවුලක එක් බිරිඳක් කැන්දා ගෙන ඒමේ විවාහ ක්‍රමයක් ද දක්නට ලැබුණි. එහි අරමුණ වූයේ එකී පවුලේ දේපළ බෙදී යාම වැළැක්වීම යි.මෙම විවාහ ක්‍රමය අනුව පවුලක වැඩිමහළු පිරිමි දරුවා දෙපාර්ෂවයේම ඥාති සමූහයාගේ එකගත්වයෙන් චාරිත්‍රානුකූලව බිරිදක් කැදවාගෙන එයි එලෙස පවුලේ වැඩිමහළු පිරිමි සහෝදරයා විසින් ආවාහ කරගත් බිරිද තමාගේද බිරිද ලෙස සලකා ලිංගික ඇසුර පැවැත්වීමට ඔහුට බාල සහෝදරයන් හය දෙනකු දක්වා පිරිසකට අවසර මෙම විවාහ ක්‍රමයේදී ලැබේ ඒ අනුව එකම පවුලේ පිරිමි සහෝදරයන් හත් දෙනකුට එක පොදු බිරිදක් සිටීම මෙම විවාහ ක්රමයේ ලක්ෂණයකි කෙසේ වෙතත් පවුලේ පිරිමි සහොදරයන් හතකට වඩා සිටීනම් ඔහුට වෙනත් බිරිදක් කැදවාගෙන ඒමට අවසර හිමිවිය අටවන සාමාජිකයාට පසු තවත් පිරිමි සහොදරයන් සිටීනම් පෙර පරිදි තම වැඩිමහල් සොයුරා(අටවන සාමාජිකයා)ආවාහ කරගත් බිරිද තමාගේ බිරිද ලෙස සලකා අඹුසැමි ඇසුර පැවැත්වීමට අවසර තිබිණ
මෙම විවාහ ක්‍රමයට අයත් විශේෂ ආචාර ධර්ම පද්ධතියක්ද පැවතිණ සැම විටම එකගෙයි කෑම විවාහ ක්රමයේ දී පුරුෂයන් සත් දෙනාම එකම පවුලකට අයත් විය යුතුවීම ඇතැම් විට සත් දෙනාට වඩා අඩු සාමාජිකයන් සිටින පවුල් ද මෙම විවාහ ත්රමය අනුගමනය කළහ පවුලේ පිරිමි සහෝදරයන් සත් දෙනකුට වඩා වැඩිනම් අට වැන්නාට වෙනත් බිරිදක් ආවාහ කරදීම බාල සහෝදරයෙකු මෙම ක්‍රමය යටතේ විවාහ කරගත් බිරිදක් තමාගේ බිරිද ලෙස සැලකීමට නොහැකිවීම එක් සොයුරකු තම බිරිද සමග අඹුසැමි ඇසුර පවත්වන විට අමුඩ ලේන්සුව උළුවස්ලේ තබා වෙනත් සහෝදරයෙකු එතැනට නොපැමිනෙන ලෙස සංඥා කිරීම අදී ආචාර ධර්ම පද්ධතියක් පැවතිණ අතීතයේ මෙසේ එකගෙයි කෑමේ විවාහයට සම්බන්ධවන ස්ත්‍රීන් ඉතා වාසනාවන්ත ස්ත්‍රීන් ලෙස සැලකීය මෙම විවාහ ක්‍රමය වර්තමාන සමාජයේ නොපවතින විවාහ ක්රමයකි (එක ගෙයි කෑම පිළිබඳව අප විසින් මීට පෙර වෙනම ලිපියක් රැගෙන ආ අතර ඒ පිළිබදව වැඩි දුර තොරතුරු අවශ්‍ය අය අපගේ පැරණි ලිපිය කියවන්න)
හඳ පානේ පැන යාම
“ගල්මුල්වල පය පැකිලී වැටි වැටි - මතකයි හඳපානේ කැන්දන් ආ හැටි
කවුද?
මගේ රත්තරන් හෙලේනා"
අහලා තියෙනවා නේද රෝහණ බැද්දගේ මහත්මයාගේ මේ ගීතය?
පුරාණ ලංකාවේ විතරක් නෙවෙයි ඉතින් මේක අදටත් දැකගන්න පුළුවන්. තමන් කැමති තරුණිය හෝ තරුණයා ගැන පවුල්වල අකමැත්තක්, විරෝධයක් තියෙනවනම් මේක තමයි ඉතින් දෙන්නට එක ගෙයක් යටට වෙන්න තිබුණු එකම විකල්පය. මේක “හඳ පානේ පැන යාම" විදියට හැඳින්වෙන්නේ, අතීතයේදී ගොඩක් වෙලාවට මොවුන් පැනලා යන්න හඳ ඇති රාත්‍රියක් තෝරාගත්ත නිසයි.
රොබට් නොක්ස්ගේ “එදා හෙළදිව" පොතෙත්, තවත් මේ වගේ කතාවක් සඳහන් වෙනවා. ඔහු සඳහන් කරන විදියට, මනාලිය ඉස්සර කරගෙන යෑම ගැමියන් පටන් අරගෙන තියෙන්නේ මනාලයා පෙරටුව ගමන් ගත්ත වෙලාවක, ඔහු නොදැනුවත්ව ම වෙන එකෙක් විසින් මනාලිය ව පැහැරගෙන ගිය සිද්ධියක් නිසා ලු.
හඳපානේ පැන යන ජෝඩු, දීග යන ගැහැණු වගේ ම, බින්න බැහැපු පිරිමිත් අද සමාජයේ ජීවත් වෙනවා. ඇවැස්ස විවාහත් සම්පූර්ණයෙන් ම නැතිවෙලා නැහැ. එක ගෙයි කෑම නම් අපේ සමාජයෙන් තුරන් වුණු ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. මේ කොහොම වුණත්, දැන් සමාජයේ බොහෝවිට දැකගන්න ලැබෙන්නේ නීතියට අනුකූලව වෙන විවාහ විතරයි.
උපුටා ගැනීම - explorers පිටුවෙන් ...සටහන මුල් අයිතිකරු සතුයි