එක වතාවක අපි අනුරාධපුර දිහාවෙ මහ කැලෑවේ අලි වාඩියකට ගියා. ඒක හද්ද කැලෑව. මිනිස් සතෙක්, කටහඩක් අහලක නෑ. මොන දේ නැතත් ඒ අලි වාඩියෙ පොල්අතු වහලෙ සිද්ධාලේප කුප්පියක් ගහල තිබුණ බව මට හොඳට මතකයි. තවත් වතාවක අපි කල්පිටියෙන් එහා ඈත මුහුදෙ තනි වුණු දූපත් වගයක් බලන්න ගියා. මහ මුහුද මැද තිබුණු දූපත් හතට ම තිබුනේ එක පොල් ගහ යි. නමුත් ඒ දූපත් හතේ තාවකාලික කරවල වාඩි හැම එකක ම කොතනක හරි සිද්ධාලේප කුප්පියක් තිබුණා.
අපි මේ කතාව කිව්වෙ ඇත්තට ම සෑම ගෙදරක ම සිටිය යුතු වෙදමහත්තයා සෑම ගෙදරක සිටින බව පැහැදිලි ඇත්තක් බව කියන්න යි.
සිද්ධාලේප කියන්නේ අපේ මිනිස්සුන්ගේ ජීවිතවලට බොහෝ ම කිට්ටු නමක්. ඕනෑම මහා ලෙඩක ප්‍රථම අත් බෙහෙත.
අද සිද්ධාලේප රට පුරා බෙදා හරින්න වෑන් 200කට වඩා තියෙනවා. සේවක සංඛ්‍යව 1500කට වැඩියි. මෙරට පමණක් නෙමෙයි එතෙර රටවල් 20කටත් සිද්ධාලේප ගමන් කරනවා. මේ වන විට සිද්ධාලේප ආයතනය දිනාගත් ජාතන්තර සම්මාන ප්‍රමාණය 15ක්, දසමූලාරිෂ්ටයේ පටන් සිද්ධාලේප ලේබලය යටතේ ඖෂධ වර්ග 90ක් දැන් වෙළෙඳපොළට නිකුත් වෙනවා.
නමුත් සෑම ගෙදරක ම සිටිය යුතු මේ වෙද මහත්තයාගේ ආරම්භය ඉතාම කටුක යි. හැදෙන මිනිහෙකුට කියවන්න වටින අත්දැකීම් රැගෙන එන කතාවක්.
අද රට පුරා වෑන් දෙසීයකින් යන සිද්ධාලේප බෙහෙත් කුප්පිය මීට අවුරුදු තිස් එකකට කලින් රට පුරා ගියේ පයින් ඇවිදින තනි මිනිහකුගේ ඉහ පිටින්. නගරයෙන් නගරයට ඇවිද ගිය ඒ මිනිසාගේ පයේ රබර් සෙරෙප්පු දෙක විළුඹ පෑදෙන තැනටම ගෙවුණා. ඔහු ඒ වෙනුවට අලුත් සෙරෙප්පු දෙකක් ගත්තේ නෑ. ගෙවුණ සෙරෙප්පුවේ පටි දෙකට අලුත් අඩියක් ගසාගත්තා. එහෙම කළේ සෙරෙප්පු දෙකට වියදම් කළොත් දවසෙ වෙළෙදාමෙන් ලාභයක් නැති වෙන හින්දා.
දේශබන්දු වික්ටර් හෙට්ටිගොඩ හෙවත් හෙට්ටිගොඩ සමුහ ව්‍යාපාරයේ අධිපති ජීවිතේ පටන්ගත්තෙ එහෙම යි.
වික්ටර් හෙට්ටිගොඩ උපන්නේ ගාලු දිස්ත්‍රික්කයේ වල්පොල කියන ගමේ. ඔහුගේ පියා ද ආයුර්වේද වෛද්‍යවරයෙක් ජ්‍යොතිශාස්ත්‍රඥයෙක් ඔහුගේ සීයාත් ආයුරිවේද වෛද්‍යවරයෙක් වික්ටර් හෙට්ටිගොඩගේ පවුලේ සංඛ්‍යාව නව දෙනෙක්.
වික්ටර් දරුවා ඉගෙන ගත්තේ මාතර රාහුලේ. අම්මා අන්තරා වුණු නිසා ඔහු ආපසු ගමේ ඉස්කෝලෙට ආවා, තාත්තා මේ දරුවා ගාල්ලෙත්, කොළඹත් පාසල් කිහිපයකටත් යැව්වේ ලේසි පාසුවෙන් නම් නෙවෙයි. මේ සේරම දේවල් අතරේ පියා ආයුර්වේද වෙදකමත් ජ්‍යෙතිෂයත් මේ පුත්‍රයාට ඉගැන්නුවා. නමුත් මේ පුතාගෙ හිතේ වෙදෙක් වෙන්න වත් ජෝතිශාස්ත්රඥයෙක් වෙන්න වත් අදහසක් නම් තිබුණේ නෑ.
ඔහුට ඕනෑ වුණේ වෙළෙන්දෙක් වෙන්න. හොඳ ගෙයක්, හොඳ කාරෙකක්, හොඳ බිරිඳක්, මේවා තමයි ඔහුගේ සිහින රාජ්‍යයේ තිබුණේ.
පාසලෙන් අස් වුණු වික්ටර් හෙට්ටිගොඩ තරුණයා හා පුරා කියල රස්සාවකට ගියා. ඒ තලවකැලේ හේමචන්ද්‍ර සමාගමට. ඒක විශාල වෙළෙඳ සමාගමක්. වික්ටර් තරුණයා ඒ කඩේ වෙළෙඳ සේවකයෙක් විදියට වැඩ කරන්න පටන් ගත්තා. මාසෙකට පඩිය රු. 18.50 යි. මේ 1959 අවුරුද්ද. වෙළෙඳාම කියන්නේ කුමක් දැයි ඔහු ඉගෙන ගත්තේ හේමචන්ද්‍ර ස්ටෝස් එකෙන්.
එතැන වැඩ කළේ අවුරුද්ද යි. ඊළගට හෙට්ටිගොඩ තරුණයා ගාල්ලේ ගිංතොට ලංකා ගමනාගමන මණ්ඩලේ එකවුන්ට් ක්ලාක් කෙනෙක් විදියට වැඩ කළා. ඊළඟට විද්‍යෝදය විශ්වවිද්‍යාල එකවුන්ට ක්ලාක් කෙනෙක් විදියට ගියා. එතැනින් අස් වෙලා එම්. ඩී. ගුණසේන සමාගමේ පොත් සේල්ස්මන් කෙනෙක් විදියට වැඩට ගියා. හැම තැනම වැඩ ටික දවස යි. අවුරුද්දයි දෙකයි. අස් වෙනවා අලුත් තැනකට යනවා.
ඔහු තුළ සිහිනයක් තිබුණා කාරෙකක්, හොඳ ගෙයක්, හොඳ බිරිදක් ඒ වගේ සිහින එකක් වත් මේ කිසිම තැනකින් කිසිම රස්සාවකින් ඔහුට ඉෂ්ට කරගන්න බැරි වුණා.
නමුත් ඔහු වැඩ කරපු මේ හැම තැනකින්ම යමක් ඉගෙන ගත්තා. චෙක් ලියන්නෙ කොහොම ද? ඩේට් චෙක් එකක් කියන්නේ මොකක්ද ? හර සහ බැර ලියා ගනුදෙනු සටහන් තියන්නෙ කොහොම ද? කඩෙන් ඉල්ලන බඩුවක් කිරල මැනල දෙන විදිය. මේ හැම දෙයක් ම හෙට්ටිගොඩ තරුණයා ඉගෙන ගත්තා. ජීවිතයෙන් ලබන පරිචය කියන්නේ ඒකට යි.
මේ අතර හෙට්ටිගොඩ තරුණයා විවාහ වුණා. ඇය ගුරුවරියක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක්. හොද බිරිදක් ලැබුණත්, හොඳ ගෙයක්, හොද වාහනයක් තවමත් සිහින පමණ යි. ඔහු තාමත් ජීවත් වෙන්නේ කුලී ගෙදරක.
හෙට්ටිගොඩ තරුණයා ඊළගට වැඩට ගියේ එදා අනුර බණ්ඩාරනායක ප්‍රකාශයට පත් කළ "අද පත්තරේට. එතනත් වැඩ කරන්න ලැබුණේ ටික දවසයි. ඔහු එතැනින් ලේඛන කලාවත් මුද්‍රණ කලාවත් ඉගෙන ගෙනයි පාරට බැස්සේ. රැකියා විරහිත හෙට්ටිගොඩ තරුණයා ආයේ උපන් ගම වු වල්පොලට ගියා. ගිහින් සිය පියාණන් මුණගැහුණා. "මං ළඟ සිද්ධාල්ප බෙහෙත් වට්ටෝරුව තියෙනවා. ඒක මගේ ප්‍රාණය වගේ දෙයක්. නමුත් උඹට මං ඒක දෙන්නම්."
රට පුරා කරක් ගසා තමා ළගට ආපසු පැමිණි පුත්‍රයාට තාත්තා එහෙම කිව්වා.
පස්සේ කාලෙක අවුලක් ඇති නොවන්න බෙහෙත් වට්ටෝරුව දෙනව නම් හොදයි"
පුතා තාත්තාට කිව්වා. තාත්තා සිද්ධාලේප බෙහෙත් වට්ටෝරුව නීත්‍යනුකූල ඔප්පුවකින් පුත්‍රයාට ලියලා දුන්නා. ඒක රත්තරනින් ලියු ඔප්පුවක් තරමට වටිනා බව එදා ඔහුට දැනුණේ නෑ.
හෙට්ටිගොඩ තරුණයා ඔප්පුව අරං ආපහු කොළඹ ආවා. ඒත් බෙහෙත් හදන්න කෝ සල්ලි ? හෙට්ටිගොඩ බෙහෙත් වට්ටෝරුව පෙට්ටගමේ තැන්පත් කරල එළවළු වවන්න පටන් ගත්තා. කවදවත් නොකරපු දෙයක් අනුන්ගේ බදු ඉඩම්වල එළවළු වර්ග 24 ක් ඔහු වගා කළා. දවසට රු. 150ක විතර ආදායමක් ලැබුණි. නමුත් ගෙවල් කුලී, ළමයින්ගේ ඉස්කෝලෙ ගමන,කෑම බීම මේවාට වියදම් වුණාම ඉතුරු වෙන දෙයක් නෑ
මේ අතර ඉන්න ගෙදරින් යන්න කියල ගේ අයිතිකාරයගෙන් තර්ජනයකුත් ආවා. හෙට්ටිගොඩ තමන්ගෙ යාළුවකුට වෙච්ච අතරතැබ්බේ කියා සිටියා. ඔහු බිතු සිතුවමක් මෙන් පිටු නොපා යන ජාතියේ මිත්‍රයෙක්. වචීපරම කෙනෙක් නෙවෙයි.
යාළුවා තමන් දරු පවුලත් එක්ක ජීවත් වෙන ගේ දෙකට බෙදලා එයින් කැල්ලක් හෙට්ටිගොඩට දුන්නා.
දැන් ඉතින් අර බෙහෙත් වට්ටෝරුවේ පිහිට තමයි. ඒත් කෝ සල්ලි... අවශ්‍ය ඖෂධ ගන්න නම් අඩු තරමින් රු. 2500 ක් වත් තියෙන්න ඕන. එක දවසක් දා දුවත්, බෑණත් දකින්න නැන්දම මේ ගෙදර ආවා. බෑණන්ගේ කතන්දරය ආසාගෙන සිටි නැන්දම්මා රු. 2500ක් දෙන්න පොරොන්දු වුණා. අන්තර් ජාතික ඖෂධයක පෙකණිවැල කැපුවේ නැන්දණිය ගෙනැවිත් දුන් ඒ මහඟු මුදල බැව් හෙට්ටිගොඩ මහතා අදත් ගෞරවයෙන් සිහිපත් කරනවා.
ඒ කුලී ගෙදර අඩි 10 x 10 කාමර කෑල්ලත බෙහෙත් දඩු, කොළ, මුල් ජාති කපල කොටල, රත් කරල පළමු සිද්ධාලේප ස්වල්පය හෙට්ටිගොඩ තමගේ අත්වලින්ම හදා ගත්තා.
අඩුම තරමින් නිකං බයිසිකලයක් වත් ඔහුට තිබුණේ නෑ. තමගෙ අතින්ම ලේබල් අලවගත්තු සිද්ධාලේප කුප්පි ටික අරගෙන හෙට්ටිගොඩ වෙළදාමට ගියේ පෙට්ටිය කර ගහගෙන
එතකොට සිද්ධාලේප කුප්පියක මිල රුපියලයි. කීය වුණත් කිසිම කඩේකින් මෙයින් කුප්පියක් ගත්තේ නෑ. ඒ වෙන විට පිටරටවලින් ගෙන්වපු බාම් වර්ග වෙළෙඳ කඩවල ඕන තරම් තිබුණා. දවසකට කුපිපි අටක් විකුණගන්න නම් ඒ හුඟාක් අමාරුවෙන්. අලුත් ඖෂධය ගන්න වෙළෙන්දෝ කැමැති වුණේ නෑ.
අන්තිමට සිද්ධාලේප වෙළෙද මහතා වෙළෙන්දන්ට මෙහෙම කිව්වා
මගේ බෙහෙත් කුප්පියක් ගන්න. තියාගෙන ගුණා ගුණ බලන්න.
ඒ පියවර සාර්ථක වුණා. සිද්ධාලේපවල තියෙන ඖෂධීය ගුණය වෙළෙන්දන් වටහා ගත්තා. දැන් දවසකට බෙහෙත් කුප්පි දහයක් දොළහක් විකිණෙන තරමයි. දියුණුව කියන්නේ මුතු මාලයක් නම් හෙට්ටිගොඩ ඒ මාලයේ පළමු මුතු ඇටය අමුණා ගත්තේ එහෙම යි. තවමත් ඇවිදින්නෙ පයින්. ඔහු ගමින් ගමට නගරයෙන් නගරයට ඇවිදින්න පටන් ගත්තා. ඈත නගරයකට ගිය විට ඔහු දවල්ට කැවේ නෑ. එහෙම කළේ වේලක මුදල ඉතුරු කරගන්න. රෑට නිදා ගත්තේ පේමන්ට් එකේ. ඒ ඇඳක කුලිය වන රු. 5ක මුදල ඉතුරු කරගන්න. දෙපයින් ඇවිදල බෙහෙත් විකිණීමෙන් ලැබුණු මුදල ඉන්නේ ගැටහගෙනයි ඔහු පේමන්ට් එකේ නිදා ගත්තේ.
ඔහුට ඕනෑකම තිබුණා වෙළෙන්දෙක් වෙන්න. මේ ඒ ගමන් මගේ දුෂ්කරම කාලය යි.
වෙළෙඳාම දවසට රු. 20 දක්වා වැඩි වුණා. ඈත දුර නගරයකට ගිය විට ඔහු ගෙදරට ටෙලිග්‍රෑම් එකක් එවනවා. සිද්ධාලේප කුප්පි මෙපමණක් කෝච්චියෙන් එවන්න කියල. ඒ කාලෙ අද වගේ ටෙලිෆෝන් සුලබ නෑ.
මේ විදියට දවසකට රු. 5000 ක සිද්ධාලේප විකුණා ගන්න පුළුවන් තරමට හෙට්ටිගොඩගේ මහන්සිය මල්පල දරන්නට වුණා. දැන් ඉතිං තනියම කරන්න බෑ. ගෝලයක් ගන්න ඕන.
ඔන්න අයිතිකාරයට අමතරව ගෝලයෙක් ව්‍යාපාරෙට එකතු වුණා. ගෝලයා, හරිම ඉක්මන්. දවසට පන්දාහක බෙහෙත් විකුණ ගන්න බොහෝම දක්ශයි. නමුත් වැඩි දවසක් ගියේ නෑ. රු. 5000 කුත් එක්ක ගෝලයා අතුරුදන් වුණා. හෙටින්ගොඩ ව්‍යාපාරිකයාගේ හිත කඩා වැටුණු දවසක් එදා. වඩාත් ම කණගාටු දැනුන දවසක් එදා. හෙට්ටිගොඩ පිටකොටුවේ තොග වෙළෙන්දන්ට සිදු වූ ඇත්ත තත්වය කියා ණය වෙවී ආයෙමත් බෙහෙත් බඩු ගත්තා. අසාධාරණයට ලක් වෙන තැනැත්තාට කාගෙන් හෝ සාධාරණයක් ඉටු වෙනව ලෝක ධර්මය එහෙම යි.
මේ වන විට සිද්ධාලේප නමට රට පුරා නමක් හැදෙමින් තිබුණා. ඒ නම හැදුණේ රට පුරා පයින් ගිය හෙට්ටිගොඩගේ ධය්ර්වත් දෙපාවල ශක්තියෙන්ම යි.
රට පුරා යන්න හෙට්ටිගොඩ ආයෙමත් ගෝලයො දෙන්නෙක් ගත්තා. දැන් තුන්දෙනා ම බස්වල කොච්විවල තුන් පැත්තට යනවා. ආදායම සරුයි.
දැන් ඉතින් පයින් ඇවිදලාම බෑ. වාහන කටුවක් ගන්නට ඕන. හෙට්ටිගොඩ රු. 5000 ක් දීලා පරණ හිල්මන් කාරෙකක් ගත්තා. නමුත් ඒකෙන් වෙළෙඳාමේ යන්න බෑ. ලෙඩ ගෑනියෙක් වගේ හිල්මන් කාරෙක හැමදාම මග හිටිනවා. කාරෙක හදන්න ගියාම වෙළෙඳාමෙන් පාඩු යි.
හොඳ කාරෙකක්.. කියන සිහිනය බොඳ වී ගියා. ආයෙමත් වෙළෙඳාමට ගියේ බස්වලින්.
හෙට්ටිගොඩ ගෙදර වියදම් අඩු කළා.
"අපි වෑන් එකක් ගන්න නම් කන බොන වියදම් වුණත් අඩු කරන්න ඕන.
හෙට්ටිගොඩ තම දරුවන්ට කියා සිටියා. පිටරටින් ගෙන්වන ඩෙලිකා වෑන් එකක් එදා රු. 35,000 යි. හෙට්ටිගොඩ වාහන ගෙන්වන්නකුට රු. 5000 ක් දුන්නා. මාස ගණනකට පස්සේ වාහනේ ආවා. තිස්පන්දාහකටත් වැඩි ෆිනෑන්ස් එකක් ගෙවලයි ඔහු වාහනේ අතට ගත්තේ.
එදා තමයි ඔහුගේ ජීවිතේ වඩාත් ම ප්‍රීතිමත් දවස. මෙතෙක් පයින් ඇවිද ගිය සිද්ධාලේප වෙද මහත්තයා එතැන් සිට රට පුරා යන ගමන ආරම්භ කළේ ඒ ඩෙලිකා වෑන් රථයෙන්.
අද සෑම ගෙදරක ම සිටිය යුතු වෙද මහත්මයා රට පුරා ගෙන යන්නට වෙළෙද වාහන පමණක් ම 200කට වඩා තියෙනවා.
වික්ටර් හෙට්ටිගොඩගේ සිද්ධාලේප කතාන්දරය ගිය දුර හිතාගන්න ඒ සාක්ෂියම ප්‍රමාණවත්.
එතැනින් එහාට කිව යුත්තේ හෙට්ටිගොඩ සමුහ ව්‍යාපාරයේ ලොකුම පුටුවේ වාඩි වී සිටින සාර්ථක ව්‍යාපාරිකයකුගේ ප්රිතිමත් කතාන්දරය ද පමණ යි. නමුත් ඒ කතාවෙන් පලක් නැතැයි මට හිතෙනවා. ගසක පිපුණ ලස්සන මල් ගැන කතා කරනවට වඩා ඒ ගස පැළ කොට දිය පොහොර දමා දහඩිය මහන්සියෙන් හදා වැඩු හැටි කීම වඩා වැදගත් යැයි මං හිතනවා.
වික්ටර් හෙට්ටිගොඩ මහතා අද ව්‍යාපාර ක්ෂේත්රයේ විශාල නමක් දිනූ පුද්ගලයෙක්. ප්‍රේමදාස රජය කාලයේ ඔහු මහජන බැංකුවේ අධ්යක්ෂවරයෙක්. ගම්උදාව ව්‍යාපෘතියේ උපදේශකවරයෙක්. එජාප නව රජය යටතේ ඔහු සංචාරක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකි. දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේත් උපදේශකවරයෙක්. ඒ හැර සතොස හා විද්‍යායාත්මක පර්යේෂණ හා කාර්මික ආයතනයේත් අධ්යක්ෂවරයෙක්.
නමුත් මේ එකදු ආයතනයකින් වත් තම සේවාව වෙනුවෙන් කිසිදු දිමනාවක් තමා ලබානොගන්නා බව ඔහු කියා සිටියා.
ලෝකයේ වටිනාම දේ මුදල් දැයි මේ කීර්තිමත් ව්‍යාපාරිකයාගෙන් අප අන්තිමට අසා සිටියා.
"නැහැ ලෝකයේ වටිනාම දේ මුදල් නෙමෙයි. වටිනාම දේ සාමය."
ඒ ඔහුගේ කතාවයි.ඔහු තරම් ඉහලට නොගියත් ජීවිතය සාර්ථක කරගත් ඕනෑ තරම් අය මේ කතාව කියවනවා ඇති.ඔබත් ඔබේ කතාවෙන් යමෙකුට ආදර්ශයක් ගත හැකියැයි විශ්වාස කරනවා නම් අපට ලියා inbox මාර්ගයෙන් පමනක් එවන්න.මෙම සමූහයේ ඒවා පලකරන්න අප සූදානම්.
උ-ගැ : දුක දිනා ජය ගත් මිනිස්සු By
චන්ද්‍රසිරි දොඩන්ගොඩ
සටහන අකුරැ කරේ-Dinuka Siriwardhane
විශේෂ ස්තූතිය -චන්ද්‍රසිරි දොඩන්ගොඩ
දිවයින කතෲ මන්ඩලය
*** මෙය උපුටා පල කරන්නේ නම් කතෲ අයිතිය සුරකින්න